2026-07-03 10:13:00 Hours
හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කරන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා සඳහන් කළේ, මෙලෙස සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් පදිකයන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බවයි. දැනට එවැනි පදිකයන්ට අවවාද කිරීම පමණක් සිදුකරන අතර, ඉදිරියේදී නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසනවා. මේ අතර, මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් මියයන බවද ඔහු සඳහන් කළා. ඒ මහතා කියාසිටියේ 2026 ජනවාරි 1 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අනතුරු සංඛ්‍යාව 105කින් සහ මරණ සංඛ්‍යාව 107කින් ඉහළ ගොස් ඇති බවත්, වැඩිම බලපෑමට ලක්වන්නේ පදිකයන් සහ පාපැදිකරුවන් බවත් මනෝජ් රණගල මහතා සඳහන් කළා. අනවධානය, අපරික්ෂාකාරී බව, මාර්ග නීති උල්ලංඝනය කිරීම, අධික වේගය මෙන්ම වාහන සහ මාර්ගවල පවතින දුර්වල නඩත්තුවද මෙම අනතුරුවලට ප්‍රධාන හේතු වී තිබෙනවා. 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මනෝජ් රණගල මහතා සඳහන් කළේ, මාර්ග අනතුරු අවම කිරීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුම් සහ නව තාක්ෂණික ක්‍රමවේද රැසක් ද ක්‍රියාත්මක කර ඇති බවයි. අධික වේගයෙන් ධාවනය කරන වාහන හඳුනා ගැනීම සඳහා කිලෝමීටර් තුනක දුරක් ආවරණය කළ හැකි නවීන වේගමාපක අමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා මේ වනවිට භාවිතයට ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරන කිසිදු පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ඔහු, ඉදිරියේදී නීති තවදුරටත් දැඩි කර රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ද ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් කළා. මීට අමතරව, පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව "Take Care" නමින් විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk