2026-06-25 11:15:00 Hours

රඛිත සහ චරිත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට


...

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමඟි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "හරක් කටා" නැමැත්තාගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා යන අයගෙන් පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත් විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහාත් මෙම අල්ලස් ලබාගෙන ඇති හෙළිව තිබෙනවා.

අදාළ කටයුතු සඳහා 2023 වසරේ දී ඩුබායි රාජ්‍යයේ දී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් ලෙස ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම පිළිබඳව රඛිත රාජපක්ෂ මහතාට සහ චරිත් අබේසිංහ මහතාට චෝදනා එල්ල ඇති බව වාර්තා වනවා.

මේ අනුව ඔවුන් දෙදෙනා සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ද අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk