2026-04-16 21:56:00 Hours
ඇමරිකා - ඉරාන ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දර්ශක පෙන්වන අගයට වඩා බෙහෙවින් වැඩි මිලක් සැබෑ ලෝකයේදී ගෙවීමට ආසියානු රටවලට සිදුව ඇති බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි (Georges Elhedery) පවසනවා.
හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, බටහිර රටවල භාවිත වන 'බ්‍රෙන්ට්' (Brent) වැනි තෙල් මිල දර්ශක මගින් ආසියාවේ පවතින සැබෑ තත්ත්වය නිරූපණය නොවන බවයි.
Middle East Eye වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා.
පවතින දැඩි තෙල් හිඟය සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.
ලෝක වෙළඳපොළේ සාමාන්‍ය බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ත් 110ත් අතර අගයක පැවතියද, රක්ෂණ පිරිවැය සහ නාවික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ආසියානු රටවලට තෙල් බැරලයක් ගොඩබෑමේදී එය ඩොලර් 150 සීමාව ඉක්මවා යනු ඇති.
විශේෂයෙන්ම රතු මුහුදේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නාවික රක්ෂණ වාරික මීට පෙර පැවති සියයට 0.25ක අගයේ සිට සියයට 5 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති අතර, නාවික ගාස්තු පමණක් බැරලයකට ඩොලර් 30ත් 40ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ ඇමරිකාව විසින් පනවා ඇති නව සම්බාධක හමුවේ තෙල් සැපයුම සීමා වීම මෙම දැඩි මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ ඉරාන හමුදා බලධාරීන් අනතුරු අඟවන්නේ, ඇමරිකාව සිය සම්බාධක ඉවත් නොකරන්නේ නම් පර්සියානු බොක්ක සහ රතු මුහුද හරහා සිදුවන සියලුම තෙල් ප්‍රවාහන කටයුතු අඩාල කරන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk