2026-04-29 13:29:00 Hours

ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට


...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටළුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාරදී ඇති බවයි.

මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ද නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) භාරගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk