2026-04-29 15:10:00 Hours

විදුලි ගාස්තු නැවත ඉහළට ? - අවසන් තීන්දුව මැයි 9 වනදා


...

2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි උත්පාදන වියදම් ඇස්තමේන්තු සංශෝධනය කරමින් ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සමාගම මහජන උපයෝගීතා කොමිෂන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

නව වාර්තාවෙන් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලි උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

මෙම නව පිරිවැය ඇස්තමේන්තු පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සඳහා 15%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මෙම මස 6 වනදා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළද එම යෝජනාව උපයෝගීතා කොමිසම සලකා බැලීම පසුවට කල් තබනු ලැබුවා.

මේ අතර යෝජිත නව ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීමක් පැවැත්වීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති බව වාර්තා වනවා.

ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මැයි මස 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk