2026-07-10 12:54:00 Hours

නීති විරෝධී මුහුදු කූඩැල්ලන් 60,448ක් සමඟ 26ක් කොටු


...

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 60,448ක තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 12ක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (09) උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

නාවික හමුදාව විසින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 60,448ක තොගය සොයාගෙන නාවික හමුදාව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර මන්නාරම සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන්, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා 12 වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk