2026-07-10 22:10:00 Hours

සහල් වෙළෙඳපොළ පුළුල් කිරීමට රජයෙන් නව සැලසුමක්


...

මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර, සහල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා ද භාවිත කරමින් සහල් වෙළෙඳපොළ පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

පසුගිය කාලයේ මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවති හෙයින් සහල් යොදාගෙන වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, වත්මන් රජය එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු පවසන්නේ වී අතිරික්තයක් පවතින අවස්ථාවලදී ගොවීන් මුහුණ දෙන ගැටලු අවම කරමින්, වී සඳහා වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වය ඉහළ නංවා සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

ඉදිරියේදී බත්වලට අමතරව සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට්, කේක් ඇතුළු විවිධ අගය එකතු කළ නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන විසින් සහල් ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර හා පාන වර්ග රැසක් මේ වන විට පර්යේෂණ මට්ටමින් හඳුනාගෙන ඇති අතර, ඒවා කඩිනමින් වාණිජමය වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

ඒ අනුව සාම්ප්‍රදායික සහල් මෝල් හිමියන්ට අමතරව, වයින්, බිස්කට් සහ සත්ව ආහාර නිෂ්පාදකයින් ද වී මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළට පිවිසෙන බැවින්, ගොවීන්ට තම අස්වැන්න සඳහා වඩාත් සාධාරණ හා ඉහළ මිලක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

වගා ඵලදායිතාව තවදුරටත් ඉහළ නංවමින්, මෙම නව වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වී වගාව පුළුල් කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

''අපේ සහල්වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි. සහල්වලින් තව අතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා. සහල්වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල්වලින් අනිත් නිෂ්පාදනය කරන්න තහනම්. ඇයි? අපිට හාල් මදි බත්වලට විතරක්. හැබැයි අපේ දැන් හාල් නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා.

අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල්වලින් බත් විතරක් නෙවෙයි හාල්වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන.

තමුන්නාන්සේලා නිෂ්පාදනය කරනවා නම් ගොවිජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් විතරක් වැඩියි. ඒ නිසා තව අතුරු, සත්ව ආහාර, එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන. එතන්ටත් යන්න වෙනවා.

අපි දන්නවා ජපන් රටේ සහල්වලින් විශාල නිෂ්පාදන කරනවා. හැබැයි අපි සහල්වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. ඒ නිසා අනිත් නිෂ්පාදනවලටත් යන්න ඕනේ.

අනිත් නිෂ්පාදනවලට ගියපුවහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වීවලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා තිබුණා ගැසට් එකක්, අනිත් නිෂ්පාදනවල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. සහල්වලින් බත් පමණක් නෙවෙයි, අනිත් නිෂ්පාදනත් කරන්න කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුඹුරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු.

අපි නිෂ්පාදන වැඩි කරමු. අපේ රටට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන. අපේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නෑ. බිස්කට් හදන ඒවා තියෙනවා. කේක් හදන ඒවා තියෙනවා. අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා.

හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ඒවා වෙළඳපොලට ගේන්න ඕන. එතකොට තමයි අපිට හාල්වලට විශාල වෙළඳපොලක් හැදෙන්නේ. එතකොට මෝල් හිමියන්ට ඇවිල්ලා ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත්වලට.

තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාරවලට. හොඳයිනේ. එතකොට විශාල වෙළඳපොළක් හැදෙනවා නේ.

එහෙම වෙළඳපොළක් හරහා තමයි අපේ මේ වීවලට සාධාරණ මිලක් සහ වෙළඳපොලේ තරඟකාරීත්වයක් හදලා ඉස්සරහට යන්න පුළුවන්. ''



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk