2026-07-06 14:55 Hours
මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ දරුණු ගැටුමෙන් මියගිය ගණන මේ වන විට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය සඳහන් කළේ, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බවයි.
ගැටුමෙන් තුවාල ලැබූ 100කට ආසන්න පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ 13 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අද පෙරවරුවේ මීගමුව බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඔස්සේ පිටතට පැමිණීමට උත්සාහ කර තිබූ බව සඳහන්.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ද කැඳවා තිබූ අතර, බන්ධනාගාර පරිශ්‍රය තුළින් වෙඩි හඬ කිහිපයක්ද ඇසුණු බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
අද (06) උදෑසන 10.00ට පමණ උණුසුම් වූ තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කිරීමට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක් දරා ඇති අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබුවා.
මේ අතර බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙනවා.
තවද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර හමුදා භට පිරිස්ද බන්ධනාගාර පරිශ්‍රය වෙත යොදවා ඇති බව වාර්තා වනවා.
මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk