2026-07-06 09:21:00 Hours
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළා.
ඊයේ (05) පස්වරු 1.00ට පමණ මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් පිරිසක් සහ දඬුවම් විඳින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා.
එහිදී රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර, තවත් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.
බරපතළ තුවාල ලැබූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවද වාර්තා වනවා.
ගැටුමෙන් අනතුරුව රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැග විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඇදවැටීමෙන් තවත් රැඳවියන් සිව්දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවුණා.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය සඳහන් කළේ, තුවාල ලැබූ රැඳවියන් 10 දෙනෙකු පමණ ශල්‍යකර්ම සඳහා යොමු කළ බවයි.
උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර, බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාවද දැඩි කර තිබුණා.
මේ අතර, රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ තම ඥාතීන් සම්බන්ධ තොරතුරු ලබා නොදෙන බව පවසමින් විරෝධය පළ කළ අතර, පසුව පොලිසිය මැදිහත්ව රෝහල්ගත කර සිටින රැඳවියන් පිළිබඳ තොරතුරු ඔවුන්ට ලබාදීමට කටයුතු කළා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා,
"මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. එයින් 36 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. එයින් දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. තවත් තිදෙනෙක් ප්‍රතිකාර ලබලා පල්ලන්සේන කඳවුර වෙත මාරු කරලා තියෙනවා.
මෙම මීගමුව බන්ධනාගාරයේ 2417 ක රැඳවියන් ප්‍රමාණයක් රඳවලා තියෙනවා. මේ වන විට ඇතුළත තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් විසින් සමථයකට පත් කරලා තියෙනවා.
ඊට අමතරව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සම්බන්ධව පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සම්බන්ධ වෙලා තියෙනවා ආරක්ෂාව ලබා දීම සඳහා.
මෙය රැඳවියන් අතර ගැටුමක් පමණක් වන අතර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වැඩිදුරටත් දන්වනවා. රැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා කිසිදු කලබලයක් හෝ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස.
මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් මේ සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායමක් පත් කරලා තියෙනවා.ඇතුළත පාලනය කිරීමට අදාළව රැඳවියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙය සමථයකට පත් කර ගැනීමට අපිට හැකි වුණ බව වැඩිදුරටත් අපි කියා සිටිනවා.
ඔවුන්ගේ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත ඉල්ලීම් කීපයක් ද ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ඒ අවස්ථාවේ රැඳවියන්ට දැනුම් දීමට කටයුතු කරා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk