2026-07-09 11:44:00 Hours

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු - පීඨ කිහිපයක දේශන සතියක් ඔන්ලයින්


...

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති අතර, ඉන් සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එහි උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ සිසුන් වන බැවින්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පීඨ කිහිපයක දේශන සතියක කාලයක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බවයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශ්වවිද්‍යාලය විසින් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, රෝහල්ගතව සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද නිරන්තරයෙන් සොයා බලමින් සිටින බවද උපකුලපතිවරයා පවසා සිටියා.

ඩෙංගු රෝගීන්ට ප්‍රමාණවත් විවේකය අත්‍යවශ්‍ය බැවින් මෙම කාලය තුළ දේශන ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බව සඳහන් කළ උපකුලපතිවරයා, උණ හෝ ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස සිසුන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදු නොවන බවත්, එවැනි තීරණයක් ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk