2026-07-09 21:26:00 Hours

බන්ධනාගාර ගැටුමේ මියගිය නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දීලා - පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි


...

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

ජූලි 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබෙනවා.

එහිදී මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් දරුණු පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් අනාවරණය වී ඇති අතර, එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බවත් සඳහන්.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ මරණය සම්බන්ධයෙන් ද අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම ද අවසන් කර තිබෙනවා.

මේ අතර, මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඥාතීන් වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව සඳහන්.

මෙම පරීක්ෂණ සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට ද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වනවා.

අනෙක් අතට, මෙම ප්‍රචණ්ඩ සිද්ධියෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස සැලකෙන බැවින් එහි රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ප්‍රචණ්ඩ ගැටුමෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම හානිය පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බව බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් සඳහන් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk