2026-03-08 12:03 Hours

49 වන සුලෝහිත සංග්‍රාමයේ එක්දින ගැටුමේ ජය නාලන්දයට


...

ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 49 වන වරට පැවැති සීමිත පන්දුවාර එක්දින තරඟයෙන් ලකුණු 53ක ජයක් වාර්තා කිරීමට නාලන්දා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. මෙම තරඟය ඉතිහාසගත වන්නේ පාසල් කණ්ඩායම් දෙකක් අතර පැවැති පළමු දිවා රාත්‍රී තරඟය ලෙසයි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නාලන්දා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 261ක රැස් කළා. නාලන්දා කණ්ඩායමේ පළමු පන්දුවාර 10 තුළදී කඩුලු 3ක් ලකුණු 33ක් පමණක් ලබා ගැනීමට හැකි වුණා. ඔවුන්ගේ ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 145ක දී  ලකුණු 144ක සබඳතාවක් ගොඩනැගීමට රන්මිත් දිනුවර සහ නෙමිඳු අක්මීමන සමත් වුණා. එම සබඳතාව අවසන් වූයේ නෙමිඳු අක්මීමන ලකුණු 79කට දැවී යාම සමඟයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත්. රන්මිත් දිනුවර නාලන්දා ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් ලබාගෙන සිටියා. ලකුණු 262ක ඉලක්කයක් හඹා ගිය ආනන්ද පිලට පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. ආනන්ද කණ්ඩායම වෙනුවෙන් දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 80ක් රැස් කරමින් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. පන්දු යැවීමේදී නාලන්දා කණ්ඩායම වෙනුවෙන් ඕසඳ පමුදිත ලකුණු 19කට කඩුලු 3ක් සහ සන්තුල් විජයරත්න ලකුණු 50කට කඩුලු 2ක් බිඳ හෙලුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk