2026-07-01 19:25:00 Hours

සලේගේ විමර්ශන ශානිගෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප වෙයි


...

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කර වෙනත් පරීක්ෂණ අංශයක් වෙත යොමු කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් පසුවයි.

අදාළ විමර්ශන වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයා යටතෙන් ඉවත් කර වෙනත් ස්වාධීන විමර්ශන ඒකකයට භාර දෙන ලෙසත් ඒ හරහා සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන බවත් සැකකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවාගෙන සිටින සැකකරු පිළිබඳව පවත්වනු ලබන විමර්ශන නිලධාරීන් වෙනස් කිරීමට හෝ එවැනි නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට නීතිමය බලයක් නොමැති බව සඳහන් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

තවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීමද අධිකරණය විසින් මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට අමතරව ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වනවා.

මේ අතර හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk