2025-01-04 09:55:00 Hours
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීමට තරම් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල පමණක් තවමත් හමුදාව වැඩි වශයෙන් රඳවා ඇත්තේ ඇයි දැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වැඩ බලන නායක සී.වී.කේ. සිවඥානම් රජයෙන් ප්‍රශ්න කරයි.
යාපනයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදු කළේය. උතුරු නැඟෙනහිර පළාත්වල යුද හමුදාව පමණක් නොව ගුවන් හා නාවික හමුදා භටයන්ද වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ඒ ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රික්කය ගුවන් හමුදාව විසින් දැනටමත් ආක්‍රමණය කර තිබෙන බවද සිවඥානම් එහිදී සඳහන් කළේය.
උතුරු නැඟෙනහිර පළාත්වල හමුදාව අඩු කිරීම මඟින් කැලෑ ප්‍රදේශ ආරක්ෂා වන අතරම ජනතාවට නැවතත් වගා කිරීමට ඔවුන්ගේ ඉඩම් ලැබෙනු ඇති බවද ඒ ඔහු කීය.
ඔහු උතුරේ ඉඩම් සම්බන්ධයෙන් එසේ පැවසුවත් පැවති යුදමය වාතාවරණය හමුවේ ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් පවරාගත් ඉඩම්වලින් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 22753 ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 20318ක් මේවන විටත් මුල් පදිංචිකරුවන් වෙත පවරා දී අවසන්ය. දැනට යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙක ආශ්‍රිතව ආරක්ෂක හමුදාවන් භාවිත කරන්නේ එම දිස්ත්‍රික්ක දෙකෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 0.51% ක භූමි ප්‍රමාණයකි.
එසේම එමෙන්ම ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පසුගිය දා කටයුතු කරනු ලැබීය. ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, යාපනයේ වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවි යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.
මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව එවකට ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.
උතුරේ ජීවත්වන ආර්ථික අපහසුතාවලින් පෙළන ස්ථිර නිවාස නොමැති අයවළුන් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය යුද්ධ හමුදාව විසින් දියත්කර කරනු ලබන උතරු දකුණු මිත්‍රත්වයේ බැඳීම තවතවත් ශක්තිමත් කරන දැවැන්තම ව්‍යාපෘතියකි. 2009 වසරේ සිට එලෙස ක්‍රියාත්මත කළ නිවාස ව්‍යාපෘතිය හරහා ආරක්ෂක ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රෙද්ශයේ පමණක් මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාස 815 ක් මේවන විට ඉදිකර දී අවසන්ය.
එවන් තත්ත්වයක් තිබියදී උතුරේ දේශපාලකයන් ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ගොඩනඟන්නට උත්සාහ කරන වැරදි ප්‍රතිරූපය පිළිබඳ රජය අවධානයට ගෙන කටයුතු කිරීම රජයේ වැඩසටහන් උතුරු නැගෙනහිර පලාත්වල ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වනු ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk