2026-04-20 22:24:00 Hours
හිරු නාලිකාව විසින් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මගින්, එහි විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම සොයාබලන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ හිරු මාධ්‍ය නාලිකාව පුනපුනා සිදුකළ බරපතල වගකීම් විරහිත ජනමාධ්‍ය භාවිතය හේතුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මෙන්ම සමස්ත ජාතික ආරථිකයටද විශාල හානියක් සිදුව ඇති බවයි.
මෙම නිසා හිරු නාලිකාවේ බලපත්‍ර කොන්දේසි පිළිබඳව සලකා බලා එහි කටයුතු නියාමක අධීක්ෂණයට ලක් කළ යුතු බවද එම සංස්ථාව සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
2026.04.20
ලේකම්
ජනමාධ්‍ය අමාත්‍යංශය
163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත,
පොල්හේන්ගොඩ, කොළඹ 05
හිරු TV / Asia Broadcasting Corporation (Pvt) Ltd. විසින් බරපතල ලෙස මාධ්‍ය නිදහස අවභාවිතා කිරීම සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීම නිසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට සිදු වූ අගතිය පිළිබඳව
1961 අංක 28 දරණ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත මඟින් සුවිශේෂි ජාතික වැදගත්කමක් ඇති කර්තව්‍යයක්වන, ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා වූ එකම අධිකාරිය සහ වගකීම පවරමින් පිහිට වූ වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් මෙම ලිපිය යොමු කරමි. හිරු TV / Asia Broadcasting Corporation (Pvt) Ltd. විසින් ඉතා බරපතළ ලෙස පුනපුනා සිදු කළ වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් අප ආයතනයේ කීර්ති නාමයට, ආයතනයට, රටේ ආර්ථිකයට සහ ජනසමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හදිසි මැදිහත්වීම මෙම ලිපියෙන් අපේක්ෂා කරමි.
1. විෂමාචාරය පිළිබඳ සාරාංශය
2026.04.16 දින හෝ ඊට ආසන්න දිනක දී හිරු TV නාළිකාවේ පුවත් විකාශයෙන් “ශ්‍රී ලංකාව බොර තෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286 ක අධික මිලක් ගෙවලා” යන මැයෙන් චෝදනාත්මක පුවතක් පළ කරන ලදී. එම චෝදනාත්මක පුවත ඉදිරිපත් කෙරුණේ:
• ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා චේතනාන්විතව විකෘති කරමින්
• ආනයනිත නිෂ්පාදනය පිළිබඳ වැරදි තොරතුරු සහිතව
• එම ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කළැයි නොමග යවන සුළු ලෙස
ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා අවසරලත් එකම ආයතනය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බව රටේ නීතියට සහ පොදු දැනුමට අදාළ කාරණයකි. එනයින් ඉහත කී පුවත විකාශය කිරීම මඟින් එකී ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කළ එකක් බවට සැකයකින් තොරව, සිතාමතා ම හඟවා ඇත.
2. සාවද්‍යතාව සහ වගකීම් විරහිත භාවය
එම චෝදනාත්මක පුවත මුළුමනින්ම අසත්‍ය වේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු අවස්ථාවක බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 කට හෝ ඊට කිසි ලෙසකින් හෝ ආසන්න මිලකට මිල දී ගෙන නැත. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ පිළිබඳ නිල මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබිය දීත් හිරු TV නාළිකාව “ලාංකීය ගැනුම්කරුවෙක් ඩොලර් 286 කට බොරතෙල් බැරලයක් ගත්තා! CEO කී දේ HSBC මාධ්‍ය අංශයත් තහවුරු කරයි” යන මැයෙන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශය විකාශය කරන ලදී. මෙහිදී HSBC ප්‍රධානියාගේ ප්‍රකාශය හිතාමතාම විකෘති කොට රටේ අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු කොට ඇත.
3. අසත්‍ය තොරතුරු විකාශය කිරීමේ ප්‍රතිවිපාක
මෙසේ අසත්‍ය තොරතුරු විකාශය කිරීමේ ප්‍රතිවිපාක බොහෝ අංශ කෙරෙහි බරපතළ ලෙස බලපායි:
• වැරදි තොරතුරු සමාජගත වීම සහ එමඟින් මහජන කැළඹීමක් ඇති වීම
• ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ආයතනයක් පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීම
• ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ මෙරට සහ ජාත්‍යන්තරයේ ඇති කීර්ති නාමයට හානි වීම
• ශ්‍රී ලංකාව විදේශීය සැපයුම්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ පවත්වන සම්බන්ධතා කෙරෙහි අගතිදායක ලෙස බලපෑම
• රටේ බලශක්ති ස්වෛරීත්වය සහ ආර්ථික ස්ථායීතාවයට අගතිදායක ලෙස බලපෑම
4. මාධ්‍ය නිදහස අවභාවිතය
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබුණ ද , සිතාමතා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට හෝ ජාතික ආර්ථිකයට අදාළ කරුණු වගකීම් විරහිත ලෙස විකෘති කිරීමට ඉඩ කඩක් නොමැත. හිරු TV නාළිකාවේ ක්‍රියා කලාපය මාධ්‍ය නිදහස බරපතළ ලෙස අවභාවිතා කිරීමක් බැවින් වහාම නියාමක අධික්ෂණයට ලක් කළ යුතුය.
5. අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳ ඉල්ලා සිටීම
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග වලට එළැඹෙන ලෙස ඉල්ලා සිටිමි:
1. හිරු TV නාළිකාවේ ක්‍රියා කලාපය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීම
2. ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ ආචාරධර්ම පිළිබඳ විභාග කිරීම
3. අදාළ පුවත නිල වශයෙන් හකුලා ගැනීමටත්, නිවැරදි කිරීමටත් නියෝග කිරීම
4. මෙම වරද නැවත සිදුවීම වැළැක්වීම සඳහා නියාමනය කිරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම
5. වගකීම් සහගත වාර්තා කරණය තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ නිකුත් කිරීම
විශ්වාසී,
සභාපති,
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk