2026-04-24 16:23:00 Hours
ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සුරියබණ්ඩාර මහතා විසින් ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් මාධ්‍යවේදී බුවනෙක එස් පෙරේරා මහතාහට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ සිදුවීමක් සම්බන්ධව මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අවහිංසාවාදය මුල් කරගනිමින් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කරමින් සිටින අවස්ථාවේදී ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත පැමිණි චන්දන සුරියබණ්ඩාර මහතා මෙම පාගමන වාර්තා කිරීම සඳහා ඔවුන්ට බලයක් නොමැති බව ඔවුන්ට පවසා ඇති බව සඳහන්.
වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසද එහිදී චන්දන සුරියබණ්ඩාර මහතා බුවනෙක මහතාට දැනුම් දී තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ තමන් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු බවයි.
ඊට අමතර අදාළ අවස්ථාවේදී ගෙලෙහි පැලද සිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පතද චන්දන සුරියබණ්ඩාර මහතාට පෙන්නුවද ඔහු එයද නොතකා තමන්ව තල්ලු කර දමා පාගමනේ සිටි පිරිස ඉදිරියේම මහ හඬින් බුවනෙක මහතාහට බැනවැදුනු බවද අදාළ ලිපියේ සදහන් වනවා.
අදාල සිද්ධියට සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.
එම ලිපිය පහතින් දැක්වේ....
2026.04.23
අනුර කුමාර දිසානායක මහතා
ගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ජනාධිපතිතුමනි,
ජනාධිපති මාධ්‍ය ඒකකයේ මැරවර මාධ්‍ය උපදේශකගේ තිරශ්චීන හැසිරීම හෙළා දැකීම.
දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත තම වෘත්තීය කටයුතු සිදුකිරීමට ඇති අයිතිය අවහිර කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
ඔබගේ මෙම මැරවර මාධ්‍ය උපදේශකවරයාගේ තිරශ්චීන ක්‍රියාවට දඹුල්ලේදී මුහුණපා ඇත්තේ ඔබගේම රාජ්‍ය ග්‍රහණය යටතේ පාලනය වන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා සහ තවත් එම ආයතනයේම මාධ්‍යවේදියෙකු වීම උත්ප්‍රාසජනක තත්වයකි. ඔබේ මාධ්‍ය උපදේශකවරයා මෙහිදී හැසිරී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු සතු බලතල වල සීමාව ඉක්මවා යන පරිද්දෙන් හා අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රමුඛත්වය හිමිවන පරිද්දෙන් කටයුතු කරමින්ය. මෙය ඔබේ පාලනතන්ත්‍රයේ පවතින මාධ්‍ය ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් අප සලකන අතර ඒ පිළීබඳ අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.
එමෙන්ම ඔබේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරගේ මෙම පහරදීම, පසුගිය ආණ්ඩු විසින් ගෙන ආ මර්දන අණපනත් වන ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත(PSTA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත(OSA) තවදුරටත් පවත්වා ගෙන යාම සහ වර්තමානයේ දැඩි ආණ්දෝලනයකට තුඩු දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි සමස්ත රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේම දිගුවක් බව හොඳින් පැහැදිලිය.
එබැවින් ලංකාවේ මාධ්‍ය නිදහස අහිමි කිරීම කෙරෙහි බලපාන මෙවැනි රාජ්‍ය හස්තයන් යොදවමින් සිදුකරන මැරවර ක්‍රියා අත්හිටුවීම කෙරෙහි ඔබගේ කඩිනම් අවධානය යොමු කොට මාධ්‍යවේදීන්හට තම රාජකාරිය වෘත්තීය ගෞරවයක් සහිතව සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් සකසන මෙන් ඉල්ලා සිටිමු. මේ අනුව ඔබේ රාජ්‍යයේ මර්දනයට ලක්විය යුත්තේ මෙරට ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් නොව ඔබ යටතේ මෙවැනි මැරවර ක්‍රියා සිදුකරමින් රාජ්‍යය අපකීර්තියට ලක්කරනු ලබන ඔබේ මෙම මාධ්‍ය උපදේශක වැනි නිලධාරීන් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අපි අවධාරණය කරමු.
ස්තූතියි !
මෙයට,
දුමින්ද සම්පත්
සභාපති
රංග බණ්ඩාරනායක
ලේකම්
පිටපත්: 1. ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk