2026-02-11 14:00 Hours

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 12 දෙනාට මරණ දඬුවම


...

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියට පහරදී ඝාතනය කළ බවට චෝදනාවට වරදකරු වූ 12 දෙනාට මරණ දඬුවම නියම කෙරුණා.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) මෙම නියෝගය ලබාදුන්නා.

වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කෙරුණා.

2022 වසරේ මැයි 9 වන අරගල පැවැති සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා මන්ත්‍රීවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයෙන් පැවැති ජන හමුවකට සහභාගී වීමෙන් පසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියා.

ඒ අතරවාරයේ නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර තිබුණා.

අදාළ පහරදීම CCTV කැමරාවල ද සටහන්ව තිබුණා.

ඉන්පසුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙක්ට එරෙහිව නඩු පවරනු ලැබුවා.

එම ද්විත්ව ඝාතනය පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මුලික නඩු කටයුතුවලින් පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ල පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මේ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබුවා.

එම ඉල්ලීමට මත මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත් කළා.

අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබුවා.

අදාළ විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරතුර දී මියගොස් තිබුණා.

ඒ අනුව 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මඟහැර පළාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණා.

මෙම නඩුවේ තීන්දුව සඳහා පසුගිය ජනවාරි 14 වනදා කැඳවූ අවස්ථාවේ දී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මඩුල්ල විසින් අද (11) දිනට කල් තැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk