2026-01-03 12:58 Hours

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් 2025 වසරේ දී වාර්තාගත ඖෂධ නිෂ්පාදනයක්


...

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙතෙක් ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ දී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ගත වූ වසරේ දී ඖෂධ පෙති සහ කරල් මිලියන 3625ක් නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජේබණ්ඩාර මහතා පැවසුවේ "ඉතිහාසයේ සිදු කළ වැඩිම ඖෂධ නිෂ්පාදනය තමයි මේ වසරේ අපි සිදු කරේ. දැනට ලංකාවේ භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් බහුතරයක් අපේ රටේ තමා නිෂ්පාදනය කරන්නේ. දැන් අපේ රටේ රෝහල්වල භාවිතා කරන සේලයින් සියල්ල නිෂ්පාදනය කරන්නේ අපි. 2025 වසරේ දී අපි අලුත් ඖෂධ නිෂ්පාදන 5ක් හඳුන්වා දුන්නා. 2026 වසරේ දීත් අපි ඒ වගේ නිෂ්පාදන කරන්න සුදානමින් ඉන්නවා."

තවද මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ මාර්තු මස තුළ දී සිදු කිරීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව තිබෙනවා.

එම මසදී ඖෂධ පෙති සහ කරල් මිලියන 385ක් නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරී අසන්ති අතුරලිය මහත්මිය කියා සිටියේ "අපි පසුගිය වසරේ වාර්තාගත නිෂ්පාදනයක් තමයි සිදු කෙරේ. ඖෂධ ආනයනය වෙනුවෙන් විදෙස් රටවලට ඇදී ගිය බිලියන ගණනක මුදලක් ඉතිරි කරගන්න සංස්ථාව වශයෙන් අපිට පුළුවන් උනා. 2026 වසරේ දී අපි ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් සැලසුම් රැසක් කරගෙන යනවා."

ඉතිහාසයේ පළමු වරට වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇනවුම් හිඟයකින් තොරව සැපයීමට කටයුතු කර ඇති එම සංස්ථාව 2025 වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 5ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට ද කටයුතු කර තිබෙනවා.

2025 වර්ෂයේ සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස ද සටහන් වී ඇති බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk