Breaking News
Home / Arts / සිංහල කෙටිකතාව ඔළුවෙන් සිටවූ නිර්මාණවේදියා අජිත් තිලකසේනය

සිංහල කෙටිකතාව ඔළුවෙන් සිටවූ නිර්මාණවේදියා අජිත් තිලකසේනය

හැටේ දශකයේදී කෙටිකතාකරණයට බට අජිත් ගෙ මුල්ම කෙටිකතා සංග්‍රහය ‘සතුරෝ‘. ඉන්පසු  ‘ පිටුවහල්කර සිටිද්දී‘  නමින් ඔහු ලියූ  කෙටිකතා එකතුව එතෙක් මාර්ටින් වික්‍රමසිංහ- ගුණදාස අමරසේකර – කේ. ජයතිලක ඇතුළු ලේඛකයන් ලියූ  කෙටිකතාවල අන්තර්ගතය සහ ආකෘතිය කුඩුපට්ටම්කර  දැමීමට සමත් වුණා.

ඉන්පසුව අජිත් ලියූ ‘සුන්නද්දූලි‘ වික්‍රමසිංහලා- අමරසේකරලා ඇතුළු කෙටිකතා කරුවන්ගේ අඛ්‍යාන රීතින් සුනු විසුනු කළා. කිසිදු ගුරුකුලයකටවත් අයත් නොවු මේ හිතුවක්කාරයා  සිංහල කෙටිකතා සාහිත්‍යයට කෙසේ  කඩා වැදුණුනාදැයි එදා  කෙටිකතාව අරක්ගෙන සිටි සාහිත්‍ය රාළලාට ප්‍රශ්නයක් වුනත් ඔවුන් අජිත්ගේ මේ කඩා වැදීම නොතකා හැරියා. කොහොම උනත් එවකට සාහිත්‍ය විචාරයේ ඉදිරියෙන්ම සිටි ආචාර්ය විමල් දිසානායක දෙසතිය සඟරාවට  අජිත් ගේ ‘සුන්නද්දූලි‘ විෂය කරගනිමින් දීර්ඝ විචාරයක් කළා. ඒත්   අජිත්ගේ කෙටිකතාවේ අන්තර්ගතය සහ ආකෘතිය හරි හැටි කියවාගන්නට විමල් දිසානායකගේ එවකට සාහිත්‍ය මිනුම් දඩු ප්‍රමාණවත් වුණෙ නෑ. ඔහු අජිත්ගේ  කෙටිකතාව කියවන්නට උත්සාහගෙන තිබුණේ ඇන්තන් චෙකෝව්ගේ කෙටිකතා රීතිය අනුයි. එම කියවීම තුළම විමල් දිසානායකගේ එවකට සාහිත්‍ය  විචාර මිනුම් දඩුවල දුගී බව පෙන්නුම් කළා.  විමල්ට අමතරව අජිත්ගේ  ‘සුන්නදූලි‘ ගැන සිංහලෙන් විචාරයක් ලියුවේ ප්‍රවීණ  නාට්‍ය වේදී  නාමල් වීරමුනියි.  ඉන් එහාට එදා අජිත්ගේ කෙටිකතා ගැන තැකීමක් කළ බවක්  දකින්නට  ලැබෙන්නේ  නෑ.  අජිත් සම්මත අක්ෂර වින්‍යාසය පිටු දැකපු නිසත්- සම්මත කතා නොලිව්ව නිසත් ඔහුගේ පොත් පුස්තකාලවල පැත්තකටවත් ගත්තෙ නෑ. ඒ විතරක් නෙවි අපේ සාහිත්‍යයට එදා කොඩි විනයක් වුණු ගුණසේන විතානලාගේ ඊනියා ජනතා සාහිත්‍ය කෙවිටෙන්  අජිත්ගේ කෙටිකතාවට පහර දුන්නා. අසූව දශකයේදී මං අජිත්ගේ පොතක් ගැන විචාරයක් ලියල දුන්නු වෙලාවේ  ප්‍රවීණම පුවත්පත් කලාවේදීයෙක් එය ඉරා දැම්මේ ‘ සිංහල සාහිත්‍යයයි භාෂාවයි කාබාසිනියා කරන මේ පිස්සා ගැන මොකට ලියනවාදැ‘ යි බැන විදිමින්.

 එදා මේ රටේ නිල සාහිත්‍යවේදයෙන් සහ නිල විචාරයෙන් අජිත්ගේ කෙටි කතා තඹ දොයිතුවකටවත් මායිම් නොකළත් ඒ  කෙටිකතා විඳින්නට-  ග්‍රහණය කරගන්නට උත්සාහ කළ තරුණ පරපුරක් 60 දශකයේදීත්  හිටියා. මට අජිත්ගේ කෙටිකතාව හඳුන්වා දුන් මුල්ම සගයා එවකට මා ඉසිපතන මහා විදුහලෙ ඉගැනුම ලබමින් සිටියදී හමුවූ මගේ පාසල් මිතුරු උපාලි කීර්තිසිරියි.  අප දෙදෙනාම එවකට  අ. පො. ස උසස් පෙළට  පෙනී සිටීමට  ඉජිනේරු  විද්‍යාව හදාරමින් සිටියත් වැඩියෙන්ම කියැවුයේ නවකතා  සහ කෙටිකතා.  දවසක් උපාලි ‘සුන්නද්දූලි‘ පොත මා අතට පත් කරමින් මෙහෙම කිව්වා.

‘මචං මාර පොතක් මට අහුවුණා. මේ පොතේ කතා හරිම අමුතුයි. සංකේතත් හරිම අමුතුයි. මේකෙ එක තැනක මෙහෙම තියනවා. ‘කාක්කාගේ හඩ කළු පාටයි.!  මාරයිනේ! හඩ කළු පාටයි කිව්වම අපිට කාක්කාගේ හඩ ගැන අපුරු චිත්‍රයක් මැවෙනවා. මේක කියවපන්.  කතා ඇතුලෙ කියන්න යන දේවල් නම් තේරුම් ගන්න බෑ. ඒත් මාරයි!‘

කිත්සිරිගේ ‘මාර‘ හැඳින්වීමම මට ඒ පොත කියවන්න මාර උත්තේජනයක් සැපයුවා. ඇත්තටම ඒක මාරයි.!  පොතේ සමහර තැන්වල  වචන වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු…! තිත් පේලි…! කතිර වලින් කපාදාපු වචන  පේලී…!  ණ  න  ල  ළ  සලකලම නෑ. භාෂාව කට වහර..!  චරිතවල  ක්‍රියාකාරකම් එළියට දාන්න යොදාගන්නේ කාමර  ඇතුළෙ බිත්තිවල බඩු භාණ්ඩ… විදුලි බුබුළු ..ඇරෙන වැහෙන පයිප්ප…! බිත්තිවල අලවපු පොස්ටර්…! සාහිත්‍ය වචන වෙනුවට තියෙන්නේ විද්‍යාවෙ එන වචන…!

අපිත් විද්‍යා විෂයන් කළ නිසා ඒ වචන අජිත් කෙටිකතාවල  යොදා ගැනීම අපූරුවට දැනුනා.  මාරයි! ඇත්තටම මාරයි!. උපාලිත් මමත් පිස්සු වැටුනා. අජිත් ගේ පොත් හොය හොයා කිවන්න පටන් ගත්ත. ඔය අතරෙ  හොරණ පරණ පොත් කඩේක  අල්මාරි අවුස්සද්දි  මට අජිත් ගේ ‘සතුරෝ‘ පොතත් ‘පිටුවහල්කර සිටිද්දී ‘ පොතත්  හමු වෙනවා. දූවිලි වැදී වැදී කිසිම ගරු සරුවක් නැතිව අල්මාරියේ කොනක තිබුණු ඒ පොත් ඔක්කොම මං සල්ලි දීලගන්නකොට  මුදලාලි  ‘අනේ  ලොකු දෙයක් ඔක්කොම අරන් පලයන්‘ කියන හැඟිමකින් මා දිහා බැලුවා. පොත්ටික අරන් යාළුවෙ  අතරෙ බෙදල දීල මං අජිත් ගැන හොයන්න පටන් ගන්නවා.

‘ මේ මනුස්සය පොත ගැන කිසිම තැනක කිසිම දෙයක් ලියන්නේ නෑනෙ පෙරදනකින්වත්. පසු වදනකුත් නෑ  කර්තෘගේ පින්තුරයක්වත් නෑ. ලිපිනයක්වත් නෑ‘ එහෙම කිවේ උපාලි.  ඒ කාලෙ  වික්‍රමසිංහලා-  අමරසේකරලා තමන්ගේ පොත් ගැන තමන්ම ලියපු අර්ථකථන ඇතුළත් පොත් එළියට දාමින් ඒවා පුම්බා ගනිද්දී අජිත් තමන් කවුද කියලවත්-  තමන් ලියන දේ ගැනවත්  අර්ථ කථන සපයන්න ගියේ නෑ. පත්තරවලට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේවත්-  තමන්ගෙ  පිංන්තුරයක් පොතකවත්- පත්තරේකවත් පළකරන්න ගියේ නෑ.

ඒත් එක දෙයක් ඔහු කිව්වා. ‘මට කෙටිකතාවලින් කියන්න දෙයක් නෑ. මට තියෙන්නේ කියන විලාසයක් පමණයි‘. ඔහුගේ භාෂාවේ එන දෘෂ්‍යරූපකරණය ගැන ඔහු කිව්වේ ‘ මට මගේ ප්‍රකාශන සදහා භාෂව ප්‍රමාණවත් නෑ‘ කියලයි.

මේ නිසාම මම  මේ අපූරු මිනිසා ගැන කාලයක් තිස්සෙ හෙව්වා.  අන්තිමේදී  ඔහු මරදානේ වීරසේකර  මාවතේ  අධ්‍යපනයට සම්බන්ධ ආණ්ඩුවේ කන්තොරුවක වැඩ කරන බව දැනගන්නට ලැබුණා.  මං එදා අජිත්  හොයාගෙන ගියේ අක්‍රමවත්ව අඳින පළඳින හරියට කොණ්ඩෙවත් හරියට නොපීරන මිනිසකු ඔළුවේ මවාගෙනයි. ඒත් මං එදා දැක්කේ බෙහොම පිළිවෙට ඇඳල පිළිවෙලට හිස පීරපු මහත්තයෙක්.

එදා ඉඳල අද වෙනකුත් අජිත් මගේ වැඩිහිටි මිතුරකු වුනත් කවදාවත් මට සම්මුඛ සාකච්ඡාවක්  දුන්නේ නෑ. කවදාවත් තමන්ගෙ කෙටි කතා අර්ථකථනය කරන්න ගියෙත් නෑ. ඒත් මේ  අපූරු හිතවතා  අලුත් පොතක් පළවුන ගමන් අතසන් කරල පොතක් මා අතට පත්කරනව. ඒ පොත් ගැනත්  අජිත්ගේ කෙටිකතා ගැනත් පත්තරවලට මං ලියුවත් එ කිසිම දෙයක් ගැන කිසිවක් කිව්වෙ නෑ.

එදා නිල සාහිත්‍ය විචාරය අජිත්ගේ තෙටිකතා අහක  දැම්මේ එදා මක්සිම් ගෝර්කිලාගෙන්- මොපාසනංලගෙ -චෙකොව්ලාගෙ   කෙටි කතා කලාවෙන් පිට  කිසිවක්  නොදන්න නිසා. නොදැක්ක නිසා. අනික් අතට අජිත්ගේ කෙටිකතාවල යටි පෙළ කියවන්නට අසමත් වුනු නිසා. එදා නිල සාහිත්‍ය විචාරය  විසින් අජිත් බැහැර කළත්  ඔහුගේ පොත් පුස්තකාලවල වද්දා නොගත්තත් අජිත් තමන්ගේ සාහිත්‍යය අත්හැරියේ නෑ .අද වෙනකොට අජිත් විශිෂ්ට කෙටි කතාකාරයෙක් හැටියට නිල විචාරයට පිළිගන්න සිදුවෙලා. එදා පුස්තකාලවලින් ප්‍රතික්ෂේ කළ අජිත් ගේ  කෙටිකතා අද විශ්ව වීද්‍යාලවල සහ පාසල්වල  කෙටිකතා විෂයට නියම වෙලා.තරුණ පරපුර අජිත් ආදරයෙන් වැළදගෙන.

අජිත්ගේ භාෂාවේ දෘෂ්‍යකරණය  සහ විලාසය අලුත් පරපුර තමන්ගේ ප්‍රකාශනයන් එළියට දාන්න යොදාගත්තා. මුලින්ම   අජිත්ගේ විලාසය අනුව යමින් නවකතාවක් ලිව්වේ බර්ටි බී කුඩා හෙටටි.  පොතේ නම ‘සමනල්ලු සහ මැෂින් තුවක්කු‘ ඉන් පස්සේ අජිත්ගේ විලාසය සහ දෘෂ්‍යරූපකරණය අල්ලා ගත්තේ කේ. කේ . සමන් කුමාර. (සර්පයා)  සර්පයා ‘එසද මම බලා සිටියෙමි‘ තුළින් පටන්ගත් අජිත්ගේ දෘෂ්‍යරූප  විලාසය දැන් ඔහුගේ සාහිත්‍යකරණයේ ව්‍යවහාර භාෂාව බවට පත් වෙලා.

අජිත්ගේ සාහිත්‍යරණය සිංහල සාහිත්‍යය විරක් නෙවි සිංහල සිනමාවත් ඔලුවන් හිටවන්න සමත් වුණා. ඒ  අජිත් ලියපු ‘පාර දිගේ‘ තිර රචනයෙන්. ඒ අනුව ධර්මසේන පතිරාජ නිර්මාණය කළ ‘පාර දිගේ‘ සිංහල සිනමාවේ විශිෂ්ට සන්ධීස්ථානයක් වුණා.

 සිංහල කවියට සංයුක්ත කවිය හඳුන්වා දුන්නෙත් අජිත්.  ‘මල් වැනි ගල්‘   සහ ‘රැලි සුලි‘  මගිනුයි අජිත්  සංයුක්ත කවිය හඳුන්වා දුන්නේ.  ඒත් ඒ කාව්‍ය විශේෂය  විචාරයට- විමර්ශනයට ලක්කරන්න තරම් පොහසත් සාහිත්‍ය විචාරයක් අපෙ රටේ නෑ..

අජිත් ගේ කෙටිකතා පොතකට අද වනතුරුත් රාජ්‍ය සාහිත්‍ය  උත්සවයකදී   හෝ වෙනත් සාහිත්‍ය සම්මාන උළෙලකදී සම්මානයක්  දීලා නෑ .

– ගුණසිරි සිල්වා

Check Also

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *