Breaking News
Home / Arts / එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා මෙහෙම කියන කොට සමහරු අහන්න පුළුවන් ඒ කවුද කියල, හැබැයි චන්දන ඇල්ලෙන් නාලා  එහෙම නැත්නම් හිටින්න පොඩ්ඩක් හිටින්න වගේ දැනට අවුරුදු හතළිහකට වඩා පැරණි ගීතයක් ගැන කතා කෙරුවොත් ඒ ගීත ඔබගේ සවනේ තවමත් රුව් පිළිරුව් දෙනවා ඇති, ඒ වගේ මධුර ගීතවල තනු නිර්මාණය කළ පුද්ගලයා තමයි ගලගෙදර හක් කියල කියන්නේ, ඔහුගේ සම්පුර්ණ නම තමයි මොහොමඩ්  මොහිදීන් අබ්දුල් හක් ,පි.එල්.ඒ.සෝමපාල, රොක්සාමි, ලතිෆ්, සරත් දසනායක, ක්ලැරන්ස් විජේවර්ධන, මුත්තුසාමි වගේ සිංහල සිනමා සංගීතයට සදා අමරණිය ගීත රාශියක් එක් කළ නිර්මාණ ශිල්පින් අතරට පහසුවෙන්ම ඇතුලත් කළ හැකි අයෙක් තමයි ගලගෙදර හක්, හැත්තැව  දශකයේ වාර්තාගත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ජෝ දේව් ආනනද්  ගේ ගීතා,සුජීවා,සුනේත්‍රා,ඔබයි මමයි,සුකිරි කෙල්ල,යන චිත්‍රපට පහේම ගීත තනු නිර්මාණය  කරල තියෙන්නේ අපි මේ කතා කරන හක් තමයි. මේ චිත්‍රපට පහම අතිශයින් සාර්ථක වන්නට මෙහි අඩංගු ගීත හේතු වුනා යැයි පැවසුවහොත් එය ඉතාමත් නිවැරදියි, ඇත්තෙන්ම මේ ගීත ලැයිස්තුව දිහා බැලුවොත් ඔබට පෙනේවි මේවා මොන තරම් මිහිරි තනුද කියලා, මෙවන් නිර්මාණශීලි පුද්ගලයෙකුගේ නම අද අහන්නවත්  නොතිබීම හරිම කනගාටුදායකයි.

දකින දසුනේ දෙනෙත ඇඳුනේ , පැන පැන එන සඳේ , මිනිස්කර්ට්, මසිත විල්තලා  (ගීතා),චන්දන ඇල්ලෙන් නාලා, ආදරණිය බබෝ,  ඈත වනපෙත සරසාලා, මගේ හද වෙනු පිරි මැදලා, ,  නුපුරුදු හැඟුමකි  තෙරපෙන්නේ, (සුජීවා)  හිටින්න පොඩ්ඩක් හිටින්න, ආදර කතාව ලෝකේ, හද සන්තානේ, හංස දේනුව , ප්‍රංශයෙන් රැජිනක් ආවා, සුකිරි කෙල්ලේ මොකද මෙසේ, පායයි මේ රෑ සඳවතී ,(සුනේත්‍රා),අනුරාග ඔටුනු පලන් , වාසිය දුටු තැන පැත්තට නැමෙනා, මධාරා මල් කුමාරි, කුළුඳුල් වන මල්, අලංකාර රාත්‍රී යාමේ, , රැජිණිය මාවේ, (ඔබයි මමයි),මන මෝහන ප්‍රිය සාධන ,සීදේවි ගෙට ආවේ ආසිරි පතා, සන්තාපේ ගිම්හාන ,සීතලේ, තරුපති වටා (සුකිරි කෙල්ල) ඒ වගේම දකින දසුනේ ගීතය ඔහු ලියා ඇත්තේ ඔහු තරුණ කාලයේ මුහුණ දුන් අත්‍ දැකීමකට අනුවයි,මුලින්ම තනුවක් සාදා ඔහු දමිල වචන දමා සකස් කළ ගීතය කරුණාරත්න අබේසේකරයන්ට පෙන්වීමෙන් පස්සේ කරු එයට සිංහල වචන දමා දකින දසුනේ ගීතය රචනා කොට තිබෙනවා. පසුව ගීතා චිත්‍රපටයට ඇතුලත් වුනේ මේ ගීතය තමයි. ජෝතිපාල, ඇන්ජලින්, සුජාතා, එම.එස්.ප්‍රනාන්දු, ලතා වල්පොල ,ප්‍රෙඩ් සිල්වා වගේ ගායක ගායිකාවන් තමයි ඔහුගේ චිත්‍රපට තනු සඳහා ගීත ගායනා කළේ, විශේෂතම සිදුවීමක් තමයි ඔහුගේ නිර්මාණයක් වූ සුජීවා චිත්‍රපටයේ එන චන්දන ඇල්ලෙන් නාලා කියන ගීතයට ජෝතිපාලයන්ට 1972 වසරේ සම්මාන හිමිවීම, හක් පවසන විදිහට ඒ වෙලාවේ ඔහු හිතා ගෙන ඉඳල තියෙන්නේ ඔහුට සංගීතය වෙනුවෙන් සම්මානය හිමිවෙයි කියා වුනත් එය ඒ අයුරෙන් සිදු වෙලා නෑ. වෙනත් සංගීත ශිල්පින් අතර ඔහුගේ නම කැපී නොපෙනීම, ඒ වගේම තමාගේ  ජාතිය තමාට එම අවස්ථාවේ සම්මානයක් හිමි නොවීමට හේතු වුනාද යන්න අදටත් හක් මහතාට ප්‍රහේලිකාවක්, එදා සම්මානය හිමි වීමෙන් පස්සේ ජෝති හක්  හමුවේ කියා තිබෙනවා සම්මානය සඳහා තමා අමරදේවයන් සමග  කරට කර සිටි බවත්,හක් ගේ මියුරු තනුව නිසා තමාට චන්දන ඇල්ලෙන් නාලා ගීතයට සම්මානය හිමිවූ බවත්, කොහොම වුනත් ජෝතිපාලයන් මිය යන තුරුම ඔහු තමාට සම්මානයක් හිමි කර දුන් මේ විශිෂ්ට සංගීතවේදියාට නිසි ගෞරවය ලබා දෙන්නට අමතක කර නැහැ.

චන්දන ඇල්ලෙන් නාලා ගීතය සම්බන්ධයෙන් සඳහන් කළ යුතු තවත් අමතක නොවන සිදුවීමක් තමයි මේ ගීතයේ තනුව ඔහුගේ මනසට ඇතුල්වී තියෙන්නේ අපුරු අකාරයකට වීම, ඔහු පවසන විදිහට එතකොට ඔහුගේ කුඩා දියණියට යාන්තම් මාස අටක් පමණ ඇති, දිනක්,ඔහු පත්තරයක් කියවමින් සිටින විට දියණිය නින්දෙන් අවදිවී අඬන්න ගන්නවා,වහාම ඇය තම අතට ගන්නවාත් සමගම මේ ගීතයේ තනුව ඔහුගේ මනසට වදිනවා, ඔහු එම අවස්ථාවේම එම තනුව දමිල භාෂාවෙන් ගායනා කරමින් සටහන් කර ගන්නවා,පස්සේ ධර්මසිරි ගමගේ තමයි මේ සඳහා සිංහල පදමාලාව යොදන්නේ.

මුස්ලිම් ජාතිකයෙකු වන හක් උපත ලබා තියෙන්නේ ගලගෙදර, ගම්පොල සහිරා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව උසස් අධ්‍යාපනය සඳහා ඇතුලත්වී තියෙනවා යාපනයේ ශාන්ත ජෝන් විදුහලට, පසු කලෙක ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් සේවය කරන්නට ඔහුට අවස්ථාව හිමි වෙනවා. ඔහුගේ ජිවිතයේ වෙනසක් කළ පුද්ගලයා ඒ කියන්නේ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක ජෝ දේව් ආනන්ද් මුණ ගැසෙන්නේ යාපනයේදී, මෙහි ප්‍රථිපලය තමයි ජෝ දේව් හදපු චිත්‍රපට හයෙන් ඔහු අවසන් වරට කළ මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටය හැර අනෙක් චිත්‍රපට පහේම සංගීතය (ගී තනු නිර්මාණය ) හක් ට භාරවීම. ඔහු තමාට පැවරුණු රාජකාරිය ඉතාමත් මැනවින් ඉටු කිරීමේ ප්‍රතිපලය තමයි අද අපි බුක්ති විඳින්නේ,ඒත් පහන් කන්ද මුල අඳුරුයි කියන්නා වගේ අපිට මෙතරම් මියුරු ගීත රැසක් දායාද කළ හක් අද ගත කරන්නේ  වේදනාබර ජිවිතයක්, ඔහු කියා සිටින විදිහට පදිංචියට ස්ථිර නිවසක් නොමැතිවීම ඔහුට තියෙන විශාලතම  ප්‍රශ්නයක්, රජයෙන් හෝ යම් පරිත්‍යගශිලියෙකුගේ මැදිහත්වීමකින් ඔහුට කුරුනෑගල නගරය අවටින් නිවසක් ලබා දෙන්නේ නම් එය විශාල පිනක් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම අදටත් රසාලිප්ත තනු නිර්මාණය කිරීමේ හැකියාව ඔහු සතුව තිබෙන බවත්  ඔහු පවසනවා. අද සිටින  චිත්‍රපට ලෝලීන් පවසන දෙයක් තමයි වර්තමානයේ නිපදවෙන චිත්‍රපටවල එදා චිත්‍රපටවල වගේ රසාලිප්ත ගීත නොමැති බව, එහෙමනම් මධුර ගීත නිර්මාණය සඳහා හොඳම සුදුස්සෙක් තමයි ගලගෙදර හක්. ඔහුගේ ලිපිනය තමයි  සංගීත අධ්‍යක්ෂක ගලගෙදර හක් ගලගෙදර ,තැපැල් සංකේත අංකය 20100 දුර කතන  අංක 0778052762, 0779182393

– අනිල් වීරසිංහ

Check Also

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *