Home / Books / රුසියානු සුරගන කතාවේ පසුබිම

රුසියානු සුරගන කතාවේ පසුබිම

Russian Surangana Katha

ලංකාවෙන් ඈතට වෙන්න පිහිටි රටක් නිසා ඔබට බය හිතුනා නම් ආයෙමත් සුරංගනා කතාන්දරයකට ගිහින් ඒ බය නැතිකරන් ප්‍රීතියෙන් පිනා යන්න ඔබට අවකාශය තියෙනවා. ගමරාළගෙයි ගම මහගේගෙයි කතා අහල නිමක් නොවුණු ඔබේ හිතට බැලලයිකා වාදනයක් පසුබිමෙන් ඇහෙන, දිගු ලේන්සු හිස වටා බැඳ ගත් තරුණියො නටමින් කියන ජන ගීයකින් නැත්නම් නැන්දම්මා තමන් විවාහවෙද්දි සින්නක්කරේට ම තියාගන්න දීපු බැටලු පැටියෙක් තුරුළට ගත්ත ගෙවිලියක් තමන්ගෙ ළමයින්ට නපුරු බබයිගා ආච්චි ගැන කියන කතන්දරයකින් අමුතු සුරංගනා ලෝකයකට පිවිසෙන්න බැරි නෑ. මේ කියන්න යන්නෙ ජැක් සහ මායා බෝංචි වැල ගැන නෙමෙයි. සපත්තුව මඟ ඇරලා දුවගෙන ගිය සින්ඩරැල්ලා ගැනත් නෙමෙයි. හැමෝම දන්න ජනප්‍රිය සුරඟනා කථා අතරෙ වුණත් තමන්ගෙ රටේ අනන්‍යතාවෙ අදටත් ඒ විදියට ම තියාගන්න සමත් වුණු කට්ටියක් ගැන. එක්තරා රැයක ගින්දර හොයන් එන්න කියලා ගෙයින් පිට මං කරපු වසිලිස්සා ගැන යි. හරිය ට ම කිව්වොත් වසිලිස්සා බිහි කරපු ලස්සන රුසියානු අම්මා ගැන යි.

රුසියාව තරමක් ලොකු රටක්. සීමා මෙහෙමයි කියලා කියන්න නැති රටවල් හතර වටින් පිරුණු රටක්. කොටින් ම අපි වගේ දූපත් මානසිකත්වයේ හිර වුණ රටක් නෙමෙයි. ලෝක සිතියමේ ආක්ටික් සාගරයට යටින් තියෙන විශාල භූමි ප්‍රදේශය. කළු මුහුද ගාව තිබුණු ජෝර්ජියාව, ආමේනියාව සහ අසර්බෙයිජන් කියන රටවල් රුසියානු විප්ලවෙන් පස්සෙ සෝවියට් දේශයෙ කොටස්කරුවො බවට පත්වෙද්දි ඔවුන්ට උරුම ජන කතා රුසියාවට ගේන්න අමතක කළේ නෑ. රුසියාවේ එක් එක් භූමි ප්‍රදේශ එක් එක් විදිය ගත්තා. ඒ කිව්වෙ යූරල් කඳුකරය පැත්තෙ තිබුණෙ සදාහරිත වනාන්තර. මොස්කව් නුවර හරියෙ මිශ්‍ර වනාන්තර. දොන් නදිය තිබුණෙ ගස් නැති තණකොළ විතරක් තිබුණු ප්‍රදේශයක. කඳු පන්ති වගේ ම මිශ්‍ර කාන්තාරත් මේ අතර තිබුණා. ඒ නිසා ම රුසියාව අත් කරගත්ත දේශගුණික විවිධත්වය ඔවුන්ගෙ සාහිත්‍යයට සෘජුව බලපෑවා කිව්වොත් නිවැරදියි. මේවයේ හිටපු වෘකයො, රතු නරි, හාවො, හංසයො, එළුවො වගේ සත්තු ඔවුන්ගෙ සුරංගනා කථාවලත් ජනකථාවලත් අනිවාර්ය චරිත බවට පත් වුණා.

රුසියාවෙ ආදි මානවයො හැඳින්වුයෙ ‘ස්ලාවික් වැසියො’ කියලා. සුරංගනා කථා බිහිවෙන්න මූලික වුණේ මොවුන්. මේ කථා බිහිවුණේ කටින් කට කියන්න මිසක් දැන් වගේ ලියන්නවත් මුද්‍රණය කරන්නවත් නෙමෙයි. ඒ අය මේ කතා හැඳින්නුවෙ ‘ස්කාස්කි’ කියලා. ඒකෙ තේරුම ‘කියන්න’ කියන එකයි. කොහොම වුණත් මේ ස්ලාවික් වැසියො මිථ්‍යා කථා කප්පිත්තෝ. බබයිගා යකින්නගේ ඉඳන් ගොඩක් රුසියානු මිථ්‍යා කථාවල ඉතිහාසය හොයන් ගියොත් එතන ඉන්නෙ මෙයාලා. නැත්නම් රුසියාව අවට රටක්. අපේ රටේ වගේ නෙමෙයි රුසියාව මේ දක්වා තමන්ගෙ අනන්‍යතාවය දිගට ම රැකගන්න උත්සාහ ගත්ත රටක්. සුරංගනා කථා කියන්නෙ එතනින් එක කොටසක් විතරයි. ආදි කාලේ ඉදන් රුසියාව පාලනය කරපු රජවරු, වංශවත්තු, කුමාරවරු පවා කතන්දර කියන්නන්ව ඔවුන්ගේ රාජ සභාවල සහ මන්දිරවල නිල වශයෙන් තියන් ඉදලා තියෙනවා. හරියට ලංකාවෙ අන්දරේ වගේ. මෙයාලා හැඳින්වුණේ ‘බකාරි’කියන නමෙන්. මේ තනතුරට ගත්තෙ පිරිමි පක්ෂය. කාන්තා පක්ෂයට හිමි වුණේ තමන්ගේ නිවාසවල ළමයින්ට කතාන්දර කියා දීම.

ලංකාවෙ ජනකථා සුරංගනා කථා වෙන්න බි්‍රතාන්‍ය ආක්‍රමණ බලපෑවා. ඒත් ඊට කලින් තිබුණෙ ආගම කේන්ද්‍රගත වුණු සංස්කෘතියක්. අදටත් එහෙමයි. 10වන සියවසේ දී ඕර්තෝඩොක්ස් පල්ලිය රුසියාවට පැමිණීමත් එක්ක සියල්ල උඩු යටිකුරු වෙනවා. එක් පැත්තකින් සාර්. අනෙක් පැත්තෙන් පල්ලිය. සියල්ල තීරණය වෙන්නෙ මේ දෙන්නා උඩ. පූජකයො ජනශ්‍රැතියට විරුද්ධ වෙද්දි පිටිසරබද මිනිස්සු මේවා තවදුරටත් ප්‍රචලිත කරන්න ගන්නවා. පල්ලියෙ බලපෑමත් එක්ක තාරකා ශාස්ත්‍රය, කතෝලික ඇදහීම්, විශ්වාස, මුතුන්මිත්තන් වන්දනා කිරීම්, ජීවිත පරිත්‍යාග කිරීම් වගේ දේවල් මේ කථාවලට එකතුවෙන්න ගන්නවා.

18වන සියවසේ රොමෑන්ටික්වාදය පැතිරයාමත් එක්ක ලෝකය පුරා විශේෂයෙන් බටහිර යුරෝපයේ සුරංගනා කථා ගැන හොයාබලන්න, ඒවා එකතුකරන්න, ඒ ගැන අධ්‍යයනය කරන්න විද්වතුන් පෙළඹෙනවා. රුසියාව විතරක් නෙමෙයි තම තමන්ගෙ රටවල පවා එහෙම කථා තිබුණා ද කියලා හොයන්න ඇතැම් අය උත්සාහ කරනවා. වෙන ම අධ්‍යයන කව පිහිටුවාගෙන අලුතින් කතන්දර ලිවීම දක්වා මේ වර්ධනය වෙනවා. ඔබ කවුරුත් දන්න සුප්‍රකට ග්‍රීම් සොයුරන් ජර්මනියෙ මිත්‍යා කථා, ජන කථා, සුරංගනා කථා ගැන හදාරන්න පාසලක් පිහිටුවනවා. මේ නිසා රුසියානු කතා ගැනත් ලෝකයේ අවධානය යොමු වෙනවා. ලංකාවෙ ජනකථා ලංකාවට සීමා වෙන්න බලපාන භාෂා ප්‍රශ්නය විසඳන්න යටත්විජිත සමයේ පුළුවන් වුණත් පෙළ පොතින් එහා ජාතික වශයෙන් මෙයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ආර්. එල්. ස්පිට්ල් ලා ලංකාවේ ජන කථා ඉංග්‍රීසියෙන් රචනා කරන්න ගන්නෙ මේ අඩුපාඩුව තේරුම් අරන් වෙන්න ඇති. ඒ කොහොම වුණත් දේශපාලනික වශයෙන් රුසියාවේ අනන්‍යතාව දියුණු කරන්න ස්ටාලින් ගත්ත උත්සාහයත් එක්ක මේ කථා තවත් වර්ධනය වෙන්න ගන්නවා. ස්ටාලින්ගේ පාලන සමයේ ඔහු තීරණය කරනවා රුසියාවෙ සියලු ජනකතා ගීත එකතු කළ යුතුයි කියලා. ඔහුගේ මැදිහත්වීමෙන් සියලු ජනකතා හා සුරඟන කතා රුසියාවේ පුවත්පත්, සඟරාවල පළකරන්න ගන්නවා. සෝවියට් සංගමයේ නැගීමත් සමඟ මේ කතාවල චරිත ස්වභා වෙනස්වෙනවා. උදාහරණයක් විදියට සාර්වරු උදාර වංශවතුන් විදියට කලින් පෙන්නුවත් සෝවියට් ජනසාහිත්‍යයෙන් පස්සෙ ඔවුන්ව පෙන්වන්නෙ ඉතා මෝඩ සහ අප්‍රසන්න පුද්ගලයන් විදියටයි.

රුසියානුවන් තමන්ගේ රට හඳුන්වන්නෙ ‘අම්මා’ කියලා. ඔවුන් ‘මාතෘභූමිය’ කියන වචනෙ තදින් ම ඇලී සිටින පිරිසක්. හැබැයි ඒ බොරුවට නෙමෙයි. රුසියාවෙ ගොවි ජනතාව ඔවුන් ලබාගන්න සියලු ආර්ථික, කෘෂිකාර්මික සම්පත් සලකන්නෙ මවක් තමන්ගෙ දරුවන්ට දෙන දායාද විදියට. ඒ නිසා පොළව ඔවුන්ට මවක්. ජනකථාවල පවා ප්‍රධාන චරිතය සමඟ නිරන්තරයෙන් ඔහුගේ හෝ ඇයගේ අම්මා සිටීම අනිවාර්යයෙන් දකින්න ලැබෙන්නෙ මේ නිසා. තෝල්ස්තෝයිගෙ යුද්ධය හා සාමය පොතේ ඉන්න රුසියානුවො තමන්ගෙ රට යටත් කරන්න එන නැපෝලියන් ප්‍රමුඛ ප්‍රංශ භටයො දැකලා ‘අනේ අපේ සුදු අම්මා’ කියලා කියන්නෙ රුසියාවටයි. වෙනතක් තබා රුසියානු හමුදා භටයො සතුරන් සමඟ සටනට ගිහින් දවස් ගණන් නිරාහාරව ඉන්නකොට තුවාල වුණ මරණාසන්න සෙබළුන්ට රුසියාවෙ මව්වරු තමන්ගෙ දරුවන් වෙනුවෙන් උපන් කිරි දීලා තියෙනවා. රුසියානු සුරංගනා කථාවල විටෙක නපුරෙක් විදිටත් විටෙක උදව්කාරියක් විදියටත් පෙනී ඉන්න බාබායිගා යකින්නගෙන් ඔවුන් නිරූපණය කළේ මේ අම්මා ම ලු.

රුසියානු සුරංගනා කථාවේ ඉතිහාසය හිතන තරම් සරල නෑ. හැබැයි සුරංගනා කථාවක් තරමට ම රසවත්. ඒ නිසා වෙන්න ඇති අපි තවමත් ලස්සන වසිලිස්සාට තනිවෙන්න දෙන්නැත්තෙ. සුප්‍රකට රුසියානු කවියකු වුණ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මෙහෙම කියන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. 
‘මෙහි ඇත්තේ රුසියානුවන්ගේ ආත්මය යි
රුසියාවේ ඉහළ ම ආඝ්‍රහනය යි
එතැනයි මා සිටින තැන
හැම බිඳුවක් ම පානය කළ
නිල් මුහුද පසෙකින් ඇති හරිත ඕක් ගස් දිස්වේ
ඒ යට වාඩිගන්නා මම
නැණවත් පූසෙක් කියන
රසවත් කතන්දරයකට සවන් දෙමි’

ඩිල්ෂානි චතුරිකා දාබරේ

-වෙනස පළමු කලාපයෙන්-

Check Also

‘සිනමාවේ නොමියෙන දෑස -සන්ධ්‍යා කුමාරි‘ 23 දා දොරට වඩී

60 දශකයේ ජනප්‍රිය නිළි සන්ධ්‍යා කුමාරිගේ  25 වැනි අනුස්මරණය නිමිත්තෙන් සුනිල් ලීනස් ලියූ ‘සිනමාව නොමියෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *