Breaking News
Home / Arts / අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ ගැන ඔයාට මොකද හිතෙන්නෙ?

ඒක ප්‍රසන්න ජයකොඩිගෙ චිත්‍රපටය. ඇය සුද්දි. මට ඇය අභියෝගාත්මක චරිතයක් වුණා. ජීවත් වෙලා ඉන්න කාන්තාවකට සමාජයට කියා ගන්න බැරි දේවල් ගොඩක් ඇය කියනවා. ඒ හින්ද මේ චරිතය මට විශේෂයි. හොදම නිළිය සම්මානය ලැබීම මගේ රංගනය නිසි ලෙස තක්සේරු කිරීමක්

‘සිනහව අතරින්’ ගැන ආපහු හැරිලා බලනකොට මොකද හිතෙන්නෙ?

‘සිනහව අතරින්’ චිත්‍රපටයේ රංගනය මගේ රංගන ජීවිතයේ පෙරලියක් ඇති කළා. චිත්‍රපටය නරඹපු ඇතැම් අය අතර දෙතුන් වරක්ම  නරඹපු අයත් හිටියා.ඇත්තටම මට ඒක හොඳ කඩයිමක්.

ඔයා දැන් ටෙලි නාට්‍ය වල වැඩිය දකින්න නැත්තෙ ඇයි?

මං අවුරු හතරකින්ම ටෙලි නාට්‍ය වල රඟපෑවේ නෑ.

ඒ ඇයි?

ඒකට හේතු ගොඩක් තියෙනවා.

මොනවාද ඒ හේතු?

එකක් දැන් මේ තියෙන ටෙලි නාට්‍ය රටාව හොඳ නෑ. අනෙත් එක හොඳ නිර්මාණ නෑ. අපට මිළක් ලැබෙන්නෙත් නෑ.

ටෙලි නාට්‍ය රටාව හොඳ නෑ කියල කියන්නේ ඇයි?

කිසිම ගරුත්වයක් පේන්න නෑ. අපි දවස් කුලියට වැඩ කරන බාස්උන්නැහේලාගේ තත්ත්වයට පත් වෙලා මේ කර්මාන්තයේ. මං ඒකට කැමති නෑ. ඒකයි මං අවුරු හතරකින්ම ටෙලි නාට්‍යවල රඟපෑවේ නැත්තෙ.

හොඳ නිර්මාණ නැහැ කිව්වෙ?

ඇත්තටම හොඳ නිර්මාණ නැහැනෙ. තිබුණත් බොහොම අඩුවෙන්නේ. ඉතිං රඟපානවා කියලා ඕනෑම එකක රඟපාන්න බැහැනේ.

මිළක් නැහැ කියලා කියන්නේ ඇයි?

දැන් මේ කර්මාන්තයේ එදිනෙදා ජීවන රටාවකට හුරු වූ පිරිස වැඩියි. එහෙම අය ඕනෑ තරම් ඉන්න හින්දා අපේ වටිනාකම අවතක්සේරු වෙලා. ඉස්සර ස්ක්‍රිප්ට් එක ලියන්නෙ අදාල ශිල්පීන් ඔලුවෙ තියාගෙන. ඒ ශිල්පීන් තමන්ගෙ නිර්මානයට ගන්න ඔවුන් බලාගෙන ඉන්නවා. අද එහෙම දෙයක් නැහැනෙ. එයා නැත්නම් මෙයා. එයාගෙ මිළ වැඩියි නම් අඩු මිළටත් ඕනෑ තරම් අය  ඉන්නවා. ඉතිං නියම මිළකුත් නෑ. හොඳ නිර්මාණත් නෑ. මේක මේ සර්කල් එකේම තියෙන අප්සට් එකක්. අතරමැදියා තමයි වැඩි වාසිය ලබන්නෙ. හරියට අපේ රටේ වී විකුණන එක වගේ. මේ හැම දෙයකටම වග කියන්න ඕනෑ මේ රටේ දේශපාලනය.

එදා රුක්මණී දේවියගේ පටන් අපේ රටේ තරු සංස්කෘතියක් ගොඩ නැගුණානෙ. ඒත් අද වෙනකොට ඒ තරු සංස්කෘතිය බිඳ වැටිලා කියලා කියනවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මොකක් කියලද ඔයා හිතන්නෙ?

ඔව් ඇත්ත. ඒකාලෙ ඒ කලාකරුවන් තරු ගුණයෙන් ඉහලින්ම හිටියා.   මිය ගියත් අදටත් ඒ ගරුත්වය ඔවුන්ට තියෙනවා. ඒත් අද ඒක එහෙම පිටින්ම වෙනස් වෙලා.ඒකට ලොකුම හේතුව අපේ රටේ තියෙන අප්‍රසන්න දේශපාලන වාතාවරණය. කිසිකොනෙක් කිසි කෙනෙක්ට ගරු කරන්නෙ නෑ. රංගන ශිල්පීන් කියන කොටස අයිතිවෙලා තියෙන්නෙ එක්තරා වෘත්තිය කම්කරුවො හැටියට. ඔවුන් ලවා තමන්ගෙ වැඩේ කරගන්නවා ඇරෙන්න වෙනත් දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ඇත්තටම ඒක බොහොම අසාධාරණ විදිහට බලපාලා තියෙනවා. මේ හින්ද තරු වලටත් පවතින්න වෙන වෙන මාර්ග හොයා ගන්න සිදු වෙලා. එහෙම වෙනකොට ප්‍රේක්ෂකයන් එක්ක තියෙන බැඳීම අඩු වෙනවා. ගරුත්වය ගිලිහෙනවා. තරු නොපෙනී යනවා.

අපේ රටේ විශේෂයෙන්ම නිළියන්ට කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී විවාහය තුළ සීමාකම් පැනවෙනවා.එක්කෝ විවාහයෙන් පසුව රඟපෑමෙන් අයින් වෙනවා. නැත්නම් දරුවන් ලැබුණු පසු බිරිඳක්, මවක්  විදිහට නිවසට සීමාවෙනවා. ඔයා බිරිඳක්, මවක්, නිළියක් විදිහට මේ තත්ත්වය කොහොමද දකින්නෙ?

එක පැත්තකින් මම හිතනවා අපේ රටේ කලාව අනෙක් රටවල් එක්ක බලද්දි ලොකු තැනක නෑ කියන එක. අනෙක් පැත්තෙන් මෙහෙම සතුටක් තියෙනවා. අපේ රටේ නළු නිළියන්ට නිසි කල නිසි වයසේදී විවාහ ජීවිතයක්වත් ගතකරන්න  ලැබෙන එක ගැන. ලැබෙන නිර්මාණ අඩුවෙද්දි කරන දෙයින් නිසි ප්‍රයෝජනයක් නැති වෙද්දි අවසාන වශයෙන් ගෙදර දොර බලාගෙන ඉන්න එක වඩා වැදගත් කියලා හිතෙන්න පුළුවන්.

ඔයා ගැන හිතද්දි ඒක මොන විදිහටද දැනෙන්නෙ?

මම මෙතෙන්ට ආවෙ විවාහයෙන් පස්සෙයි. මම හැම තිස්සෙම වැඩ කළේ සීමාවක් ඇතුලෙයි. ඒ සීමාවන් පනවා ගත්තෙත් මා විසින්මයි. මට සුදුසු, අවශ්‍යදේ විතරයි මම කළේ. මේ හැම දෙයක්ම සමබරව පවත්වාගෙන යන්න මට හොඳ සැමියෙක්, හොඳ දරුවෙක් ඉන්න එක ප්‍රධාන හේතුවක්.මේ වෙනකොට මං මේ ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු 18 ක් වෙනවා. මම රඟපෑවෙ ටෙලි නාට්‍යය 20 ක විතර. චිත්‍රපටත් 8 – 9 ක්වත් තරම් නෑ. අවුදු 4කින් ටෙලි නාට්‍යයක රඟපාලත් නැතුව හැබැයි මිනිස්සු අතර ඉන්නවා.

‘සුදු හංසි’ ‘යකඩ පිහාටු’ වැනි චිත්‍රපටවල ඔයා රඟපෑ චරිත සෙක්ෂුවල් ෆීලිංස් දනවන සුළු චරිත.අපේ රටේ තියෙන සංස්කෘතික බැඳීම් එක්ක බලද්දි නිළියක් විදිහට ඒ ඒ චරිත අභ්‍යන්තරයට කිඳා බහිද්දී ඔයාට සීමාකම් පැනවුනේ නැද්ද?

ඔය පසුගාමී අදහස් දැන් අපේ රටේ නෑ. ඒවා චොක්ලට් ආලේපනයක් වගේ විතරයි. දිවෙන් ලෙවකාලා චොක්ලට් ආලේපනය  ඉවර වුනහම ඇතුලත මතුවෙනවා. ඒ වගේ තමයි යට තියෙන්නෙ බටහිර සංස්කෘතියත් එක්ක බැඳිච්ච ලයිෆ් ස්ටයිල් එකක්. නාගරිකව විතරක් නෙමෙයි. ග්‍රාමීයවත් එහෙමයි. ඒ තුළ හැම හොඳ නරක දෙයක්ම සිද්ධ වෙනවා.අපේ සංස්කෘතිය කිය කියා වහගෙන ඉන්නෙ අන්න එහෙම දෙයක්. ‘විසි අට’ චිත්‍රපටයේ සුද්දි ගණිකාවක්. දවසක් කොල්ලො තුන් හතර දෙනෙක් ඇයව අරන් ගිහිල්ලා ඇය එක්ක ලිංගික ගනුදෙනුවක යෙදෙනවා. ඒ අතරෙ ඉන්න එක මිනිහෙක් ඇයව කසාද බඳිනවා. එදා ඒ දෙන්නා කාමරේ ඇතුලෙ නිදා ගන්නවා. මිනිහාගෙ අම්මලා දොර ගාව. ඔහොම සංස්කෘතියක්නෙ තියෙන්නෙ. ඇත්තටම චරිත නිරූපනයේදී ඒ ඒ චරිතවල ඒ ඒ සීමාවන්ට ගියේ මං මගේ කැමැත්තෙන්. ඒ සීමාවෙන් වෙනතකට ගෙනියන්න කිසිම අධ්‍යක්ෂවරයෙක් උත්සාහ කළේ නෑ. මට මගේ සීමාව ඇතුලෙ ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.’යකඩ පිහිටු’ චිත්‍රපටයේ සුරංගි විදිහට මට තිබුනේ සීන්ස් 6යි. ඒ සීන්ස් 6ට මගෙන් උපරිමව සාධාරණය ඉටුවෙච්ච හින්ද මට ඒ චරිතයට සම්මාන ලැබුණා.

ඒවාට පේස් කරන්න ඔයා ඔයාගෙ පුද්ගලික චරිතය වර්ධනය කරගන්නේ කොහොමද?

චරිතයකට ගියහම ඇක්ෂන් – කට් සීමාවේදී මම මම නෙමෙයි. සේමිණී එතන නෑ. අවශ්‍ය කාන්තාව විතරමයි ඉන්නෙ. 

කොහොමද ඔයාට ඒ ස්වාධීනකම එන්නෙ?

මම හරියට නිදහස් විදිහට හැදුණු ගැහැණු ළමයෙක්. ස්වාධීනව තීරණ අරගෙන ස්වාධීනවයි මම කටයුතු කළේ. මුලින් ඉස්කෝලෙ යන කාලෙ හොස්ටල් එක ඇතුලෙ හොඳටම හිරවෙලා කඩේකට ගිහින් බඩු අරන් ඉතුරු සල්ලිවත් ගන්න දන්නෙ නැතුව හිටපු මම මුල ඉඳල අයන්නෙන්ම තනියම ජීවිතේ ඉගෙන ගැනීම තුළ මේ ස්වාධීනත්වය ගොඩනගා ගත්තේ. පස්සෙ මම විවාහ වුණා. විශාල පිනකට මට හොඳ සැමියෙක් ලැබුණා.    විවාහ ජීවිතය තුළ අපි ගතකරනනෙ යටහත් පහත් වැසියන් වගේ නෙමෙයි. සමහර වෙලාවට ධම්මික මට තේ හදලා දෙනවා. තවත් සමහර වෙලාවට මම තේ හදලා ධම්මිකට දෙනවා. සමහරුන්ට පුදුමයි ධම්මික මට තේ හදලා දෙනකොට. හානේ.. ඒ ඇයි කියනවා. සැමියා, මම, දරුවා අතරෙ තියෙන්නෙ ලොකු අවබෝධයක්. කිසිම දෙයක් මම බොරුවට මවා පාන්නේ නෑ.මට අවශ්‍යදේ කරනවා. මම මාව හංගාගෙන ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. ඒ විවෘතකම ඇතුලෙත් මම සීමාවක් ඇතිකරගෙන තියෙනවා. ඒ අය කවුද? කොහොම අයද කියල විමසිලිමත් වෙනවා. ඒ විමසිලි කමත් මට වැදගත්. අපේ පවුල කැඩෙන තරම් ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ තැනට නොයා ඒවා නිවැරදි කරගන්න අපිට අවබෝධය තිබුණා. මම රෑට එළියට යනවානම් ධම්මික දුව එක්ක ගෙදර ඉන්නවා. ධම්මික රෑට එළියට යනවා නම් මම දුව එක්ක ගෙදර ඉන්නවා. අපි දෙන්නාම එළියට යනවා නම් දුව මව එක්ක හෝ දූ බලාගන්නා කාන්තාව එක්ක ඉන්නවා. අපි තුන්දෙනා අතරෙ තියෙන්නෙ එහෙම අවබෝධයක්. එතකොට අපි එකිනෙකාට වධයක් වෙන්නේ නෑ.

Check Also

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *