Home / News / Sports / ජගත් එක්දින පිටිය උඩු යටිකුරු කළ මෙවර ලෝක කුසලාන තරගාවලිය…

ජගත් එක්දින පිටිය උඩු යටිකුරු කළ මෙවර ලෝක කුසලාන තරගාවලිය…

cricket_world_chapions_2019ඇත්තෙන්ම එයනම් අපුරු සිදුවීමකි,මෙය ටෙස්ට් ක්‍රිකට් පිටියේ 1960  මුලින්ම දැක ගැනීමට ලැබිණි,ඉන් පසු එක්දින ජාත්‍යාන්තර තරග පිටියේ මුලින්ම මෙවන් සිදුවීමක් වාර්තා වන්නේ 1984 වසරේය,මෙහි විශේෂත්වය වුවේ මෙම අවස්තාවන් දෙකටම මුහුණ දුන්නේ එකම කණ්ඩායම් දෙකක් එනම් කොදෙව් හා ඕස්ට්‍රේලියා කණ්ඩායම්ය,පසුගියදා මෙම අපුර්ව සිදුවීම එක් දින ජගත් තරගයක තිස් අටවන (38) වරටත් දැක ගැනීමට ලැබිණි , ඒ තියුණු තරග වැදීමකින් පසු දෙපිලේම ලකුණු ගණන් සමානවී තරගය නිමාවිමය, මෙවර මෙය සිදු වුවේ එංගලන්තය හා නවසීලන්තය අතරය, ඒ ලෝක කුසලාන අවසන් තරගයක ප්‍රථම වරට මෙවන් සිදුවීමක් වාර්තාගතවූ අවස්තාව ලෙස ඉතිහාසය අලුතින් සටහන්  කරමිනි,. මෙවන් සිදුවීමක් එක්දින ජගත් තරගයක සිදුවූ 38 වන අවස්තාව ලෙස කලින් මෙම අවස්තාව නම් කළද ඇත්තෙන්ම මෙය එක් අතකින් හතලිස් වන (40) අවස්තාව ලෙස ද නම්  කළ හැක්කේ කලින් මෙසේ ලකුණු සම  වීමෙන් අවසන්වූ අවස්ථා දෙකක අඩුම කඩුළු බිඳ වැටීමේ පදනම මත ජයග්‍රාහකයින් තෝරා ගෙන තිබීමෙනි,ඒ හැර අනෙක් අවස්ථාවන්හි සිදුවුවේ එම තරග ජයග්‍රාහකයෙකු හෝ පරාජිතයෙකු නොමැති තරග ලෙස සටහන්විමයි. කෙසේ නමුත් එදා එනම් ජුලි මස 14 දින එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටිය වර්ණවත් කළ මෙම සිදුවීමෙන් අනතුරුව එංගලන්ත පිලට ලෝක කුසලාන ය හිමිවූ නමුත් එය සිදුවුවේ සුපිරි පන්දු ඕවරයකින්ද පසුව එයද ලකුණු සම වීමෙන් නිමා විම හේතුවෙන් තරගය තුළ දෙපිල එල්ල කර තිබු හයේ හතර පහරවල් අනුව එංගලන්තය ඉදිරියෙන් සිටීම නිසාය.

අවසන් තරගයක දැක ගැනීමට නොලැබුනද සමස්ත  ලෝක කුසලාන තරගාවලිය තුලද කණ්ඩායම් සම ලකුණු ලබා ගනිමින් අවසන්වූ තරග හතරක් මිට පෙර වාර්තා වී තිබිණි.මුලින්ම මෙවන් තරගයක් ලෝක කුසලාන තරගයක දැක ගැනීමට ලැබුණේ 1999 තරගාවලියේදීය,ඒ ද එංගලන්තයෙනි,තරගය ඔස්ට්‍රේලියාව හා දකුණු  අප්‍රිකාව අතරය.

මේ අනුව දොළොස්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාවට පත්වූවේ මෙහි වසර 44  ඉතිහාසය තුල නව ශුරයෙකු  බිහි කරමිනි,මිට පෙර අවස්තාවන්හි මෙහි ශුරතාව ජයගෙන සිටි බටහිර ඉන්දීය කොදෙවු 1975,1979, ඉන්දියාව 1983, 2011, ඔස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007, 2015, පාකිස්තානය 1992, ශ්‍රී ලංකාව 1996 යන රටවල් අතරට එංගලන්තයද එක් විය. එමෙන්ම තවත් විශේෂත්වයක් වුවේ මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබු කණ්ඩායම් දෙකම මිට පෙර ශුරතාව ජයගෙන නොතිබීමය. මේ අතරින් නවසීලන්තය මිට පෙර අවස්ථා කිහිපයකදීම අවසන් පුර්ව වටය සඳහා සුදුකම් අත්  කරගෙන සිටි අතර ,2015 අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් නමුදු අවසන් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත් විය.එංගලන්තය දෙස බලන විට ඔවුන්ද  මිට පෙර අවස්ථා කිහිපයකම අවසන් පුර්ව  වටයට පිවිසි  තිබුනා පමණක් නොව 1979, 1987, 1992 යන වසරවල අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබුනද එම අවස්ථාවන්හි පරාජය ලැබීම හේතුවෙන් ශුරතාව අහිමි කරගෙන තිබිණි.

මෙවර තරගමාලාවේ වාර්තාවූ ස්විශේෂී සිදුවීම් අතර මෙවර එක් තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කණ්ඩායම ලෙස මුල් තැන ගත්තේ එංගලන්ත කණ්ඩායමය,ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලකුණු 397 ක් ලබා ගනිමිනි.එමෙන්ම මෙවර කණ්ඩායමක් තරගයක ලැබූ අඩුම ලකුණු වාර්තා කළ කණ්ඩායම පාකිස්තානය විය, ,ඒ ඔවුන් තමන් මෙවර සහභාගී ප්‍රථම තරගයේදී කොදෙවු පිල ඉදිරියේ ලකුණු 105 කට දැවී යාමෙනි.නමුත් මුල් තරගයේදී එසේ අන්ත පරාජයක් ලැබුවද ,පරාජයේ අළු මතින් නැවත නැගී සිටිමින් අවසන් පුරව වටය අසලටම මහත් සටන්කාමි අන්දමින්  ඔවුන් පැමිණි ආකාරය ප්‍රසංශනිය විය. ඉන්දියාවේ රෝහිත් ෂර්මා මෙවර තරග මාලාවේදී ශතක 05 ක් ලබා ගැනීම කැපී පෙනුණු තවත් සිදුවීමකි, මෙය සමස්ත ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේද  වාර්තාවක් බවට පත් වුවේ එක තරග මාලාවක ක්‍රීඩකයෙකු වෙතින් වාර්තා වූ වැඩිම ශතක ගණන වීමෙනි, මිට පෙර මෙම වාර්තාවට හිමි කම් කිවේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරය,ඔහු පසුගිය එනම් 2015 තරග මාලාවේදී ශතක හතරක් වාර්තා කර තිබිණි. මිට අමතරව එංගලන්ත නායක ඉවෝන් මෝර්ගන් ඇෆ්ගනිස්තාන තරගයේදී ලෝක වාර්තාවකටද දායක විය,ඒ එක් දින ජාත්‍යාන්තර තරගයක ඉනිමක දී වැඩිම හයේ පහර ගණනක් වාර්තා කළ පිතිකරුවා වෙමිනි,මේ අනුව ඔහු එම තරගයේදී එල්ල කළ හයේ පහර ගණන 17 කි.

රෝහිත් ෂර්මා සමස්ත ලෝක කුසලාන තරගමාලාවේ රැස් කර ඇති ශතක ගණන මේ වන විට හයකි,මෙය මේ සම්බන්ධයෙන් ඇති වාර්තාව සම කිරීමකි,ඉන්දියාවේම  සචින් තෙන්දුල්කාර් 1992 සිට 2011 දක්වා ලෝක කුසලාන තරග 45 කදී මෙම ශතක සංඛ්‍යාව රැස් කර ඇති අතර රෝහිත් මෙම සංඛ්‍යාවට ලඟා වුවේ තරග 17 කින් වීමද මෙහිදී අමතක කළ නොහැක, යම් හෙයකින් මීළඟට 2023 තම මව් භුමිය තුළ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග මාලාව නියෝජනය කිරීමේ අවස්තාව ඔහුට හිමිවුවහොත්  සචින් පසු කර යාමේ අවස්තාව ඔහුට හිමි වනු ඇත. එමෙන්ම මෙවර තරග මාලාවේ වැඩිම ලකුණු ලාභියා වන්නේද රෝහිත් ෂර්මාය ,මේ අනුව ඔහු මෙවර ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව ඉනිම්  09 කදී ලකුණු  648 කි. පිතිකරුවෙකු වෙතින් ඉනිමක වාර්තාවූ වැඩිම ලකුණු ගණන ලෙස මෙවර  වාර්තා වුවේ ලකුණු 166 කි, ඒ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝර්නර් වෙතිනි,ඔහු බංගලි දේශ කණ්ඩායමට එරෙහිව මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ඉනිම් 10 කදී කඩුළු විසිහතක් (27) ක් දවාලු ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් මෙවර වැඩිම කඩුළු දවාලු පන්දු යවන්නා ලෙස දස්කම් දැක්වූ අතර එක ඉනිමක වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද්දේ පාකිස්තානයේ ෂයින් ඇෆ්රිඩිය,ඔහු බංගලි දේශයට එරෙහිව පැවති තරගයේදී ලකුණු 35 කට කඩුළු හයක් (06) දවාලමින් මෙම දස්කම දැක්විය. බංගලි දේශ  කණ්ඩායමේ ෂකිබ් අල් හසන් ද මෙවර තරගාවලියේ කතා බහට ලක්වූ තවත් ක්‍රීඩකයෙකි,ඔහු තරග අටකදී ලකුණු හයසිය හයක් (606)වාර්තා කළේ ශතක 02 ක් හා අර්ධ ශතක පහක් සමගින් වූ අතර එතැනින් නොනැවතී ඔහු කඩුළු දහයක්ද (10) දවාලිය.මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ තවත් වාර්තාවකි .

අවසන් පුර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවද  ලසිත් මාලිංග හටද මෙවර තරග මාලාව ස්විශේෂී විය,එයට හේතුව සමස්ත ලෝක කුසලාන තරගාවලිය තුළ වැඩිම කඩුලු  වාර්තා කර ඇති පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ තෙවන ස්ථානය අත් වීම මෙන්ම ලෝක කුසලාන කඩුළු පනහ ඉක්මවා යාමටද ඔහු සමත් වීමෙනි,ඕස්ට්‍රේලියාවේ ගලෙන් මැග්‍රාත් කඩුළු 71, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් කඩුළු 68, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග කඩුළු 56, පාකිස්ථානයේ වසීම් අක්‍රම් කඩුළු 55 මේ අනුව සමස්ථ ලෝක කුසලාන තරග මාලාවේ කඩුළු පනහ ඉක්මවා ඇති පන්දු යවන්නන්ය. ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ 1983 තරග  දෙකක්ද, 1999 එක තරගයක්ද වශයෙන් එංගලන්තයේදී එංගලන්ත පිලට එරෙහිව පරාජය අත් කරගෙන සිටින ශ්‍රී ලංකාව මෙවර එංගලන්තය සමග පැවති තරගය ජයගැනීම සටහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරහිව ලෝක කුසලාන තරගයක් එංගලන්තයේදී ජයගත් මුල්ම අවස්ථාවය.

ඉහත දස්කම්වලට අමතරව අනාගතයට වැඩදායි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර දැක ගැනීමට ලැබිණි,තම මුල්ම එක්දින ශතක වාර්තා කළ ශ්‍රී ලංකාවේ අවිශ්ක ප්‍රනාන්දු,කොදෙව් දුපත් හි නිකොලස් පුරන්,පන්දු යවන්නන් වශයෙන් පාකිස්තානයේ ෂයින් අෆ්රිඩි,එංගලන්තයේ ජෝෆ්රා ආර්චර් මේ අතරින් කිහිප දෙනෙකි.  එමෙන්ම නවසීලන්තයේ ජන්ම ලාභය ලබා එංගලන්ත පිල නියෝජනය කරමින් අවසන් තරගයේදී නවසීලන්තය වෙතින් ලෝක කුසලානය උදුරා ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන් බෙන් ස්ටෝක්ද මෙවර අමතක කළ නොහැකි තවත් ක්‍රීඩකයෙකි.

– අනිල් වීරසිංහ

Check Also

අන්තර් ක්‍රීඩා සමාජ ත්‍රෝබෝල් තරගාවලියට අයදුම් පත් කැදවයි.

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කරන සමස්ථ ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ ත්‍රෝබෝල් තරගාවලිය ඔක්තෝබර් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *