Breaking News
Home / Manoland / Manoland – Latest

Manoland – Latest

අනුන්ගෙ කතා බහට කන්දෙන එක හොඳ වැඩක් නෙමේ. ඒක නිසා මම නම් ඒ වැඩේ එතරම් දුරට කරන්නේ නෑ. ඉඳලා හිටලා ශද්දයක් බද්දයක් ඇහුණොත් අහන් ඉන්නවා. මොකද ගොළුවන් බිහිරන් වගේ සමාජෙ ජීවත් වෙන්න බැරි හින්දා.

අල්ලපු ගෙදර ශාන්තිනී පුංචියි,  සුසිලා අක්කයි බර කතාවක්. ශාන්තිනී පුංචි ළඟදි රට ඉදන් ආවේ. අපි හිතුවෙ මැදපෙරදිග රටක රැකියාව කරලා ආවා කියලා. බැලින්නම් මේ යෝදි රැකියාව කරලා තියෙන්නෙ එංගලන්තෙ.  එංගලන්තෙත් ලේසී පහසු තැනක නෙමේ. බැකිංහැම් මාලිගාවට අල්ලපු ගෙදර වගේ කතාවෙන් තේරෙන්නෙ. මම ඒක දැනගත්තෙ ළඟදි අල්ලපු ගෙදර සුසිලක්කා සමඟ ඇතිවුණු එයාගෙ කතාවකින්මයි.

මේ යෝදි බකිංහැම් මාලිගාවට ගිහින් තියෙනවා එයා ඉන්න ගෙදර උයන්න මොකුත් නැතුව හැම් කෑල්ලක් ඉල්ලගෙන එන්න. මෙහෙ වගේ කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් වත්තට ගිහින් කඩාගන්න කියලා යෑ. මේ යෝදී යනකොට එලිසබෙත් මහ අම්මණ්ඩි. ඒ කියන්නෙ එලිසබෙත් රැජින කේට් මිනිපිරියට කනේ ඇඟිලි ගහගෙන හිතෙන අන්දමින් බනිනවලු. උන්දැ ඩයනා ලේලීටත් එහෙම බැනලා ඩයනත් කාලයක් අමනාපෙන් හිටියා කියලා කියනවනේ.

ශින්තිනී ගෙ වචන වලින්ම ඒ සිද්ධිය මෙහෙමයි. සංවර විදිහට ඇන්දෙ නෑ කියලයි එලිසබෙත් ඇන්ටි කේට් ට බැනලා තියෙන්නේ. ඒ වචන වලින්ම ඒ අයුරින්ම ලියන්නම්.

ඈ කේට්, මොකද උඹ බිම බලාගෙන ඉන්නේ. ඔළුව උස්සලා බලපං මගෙ මූණ දිහා. උඹත් ඔය හැදෙන්නන් වාලේ හැදෙන්නද හැදෙන්නෙ? උඹ හිතාගන්න ඕනැ උඹ මේ රටේ වැදගත් පවුලක කෙල්ලක්. කොටින්ම කියනව නම් රජ පවුලට එකතු වුණ කෙල්ලක් කියල. බලපන් ඊයේ පෙරේදා උඹ ඇඳලා තියෙන ඇඳුම් කිසිකමකට නෑ. බාගෙට හෙළුවෙන්. ඔහොමද වැදගත් පවුල්වල ළමයි අඳින්නෙ. රට්ටු මොනව නොකියයි ද බං අපිට. මීට පස්සෙ උඹ ආයේ ඔය විදිහට අඳිනව එහෙම නෙමෙයි තේරුණාද?

එලිසබෙත් මහ ගෑනි මෙහෙම කියනකොට කේට් ඔළුව ගස්සල අහක බලා ගත්ත කියපංකෝ. ශාන්තිනී සුසිලක්කාට කීවාය.

කොහෙද උඹලට හොඳක් කිව්වම කේන්ති යනවා. දැක්කනේද අපේ චාල්ස්සයා කොහෙද යන එකියක් කසාද බැන්දා. ඒකිත් වංශවත් පවුලක එකියක් කියලා ගෙනාවට මොකද ඇවිල්ලා වංශෙකබල් ගෑවා. ඒකී එක එක පන්නෙට විලාසිතා කෙරුවා. අන්තිමට මොකද කෙරුවෙ චාල්සයා ඉන්නැද්දි කොහෙවත් යන පිටජාතියෙ එකෙක් එක්ක හුට්ටප්පරයක් ඇති කරගත්තා. අන්තිමට කාරෙක පොඩි වෙලා එකීත් නැතිවුණා. අනේ හප්පේ මට දුකේ බෑ. මතක් වෙනකොට මගෙ බඩ පපුව දාලා යනව. ආයේ කවද දකින්නද? කොච්චර ලස්සනට තිබුණ කාරෙකක්ද? අන්තිමට කන්ඩම් වෙලා යකඩ වලට වික්කා. මට මතක් වෙන මතක්වෙන ගානේ දුකයි.

ඒකයි මම උඹට කියන්නෙ, වැදගත් විදිහට ඇඳපං. දැන් ඉන්න එකාලට දණිහෙන් උඩ අඟලක් පේන්න අඳින්න බෑනේ. ගිලින්න වගේ බලන් ඉන්නවා. නැත්නම් පොටෝ ගහලා නෙට් එකේද මොකේද දානවනේ. ඉතින් මම කියන දේ අහගනින්. හිත සන්සුන් වෙන්නෙ නැති වෙනකොට තමයි සංවරකමක් නැති ඇඳුම් අඳින්න හිතෙන්නෙ. උඹ ලබන ඉරිදා ඉඳලම දහම් පාසැල් පලයං. බණ පදයක් අහනකොට. භාවනා කරනකොට උඹේ ඔය හිතේ තියෙන මංජල් ගතිය ඇරිලා යයි. මම මේවා කියන්නෙ උඹත් එක්ක තියෙන තරහකට එහෙම නෙමේ.

ඇත්තටම මහ එකීට ඔච්චරම ඩෝං යන්න තරම් කේට් කෙල්ල කොටට ඇඳගෙන හිටියද බං?

කියා සුසිලක්කා ඇසුවාය.

ඔහේ නෑ බං. ඒකි දරුවත් අරන් පඩිපෙළ බැහැගෙන එනකොට ගවුම හුළඟෙ ගිහින් තියෙනව. ඉතින් මේකිට පුළුවනෑ ළමයා අතඇරලා ගවුම අල්ලගන්න. ඔය වෙලාවේ ගවුම ටිකක් එහාමෙහා වෙලා කකුල් දෙක පෙනිලා තියෙනව. ඕක පැපරාසි කැමරාකටාලා පොටෝ ගහලා නෙට් එකෙයි දැලෙයි හැමතැනම දාලා. ඒකටයි ගෑනි ඩෝං ගිහිල්ලා තියෙන්නෙ අහල පහල එවුන් හිනාවෙයි කියලා.

ඉතින් විලියම් ගොයියා මොකුත් කියලා නැද්ද ඒ නෑම්ඹිට.

සුසිලක්කා අසුවාය.

විලියම් මළයා මොකුත් කියලා නෑ බං. විලියම්ට හොඳ නම් අරකිට තියෙන අමාරුව මොකක්ද එකඅතකට.

මමත් දැක්කා උඹේ එකිත් කොටට කොටේ ගවුමක් ඇඳන් යනවා. උඹත් නම්ඹුව ගැන කතා කරන ගෑනි නේ. කෙල්ලට අල්ලන් තැලුවෙ නැතෑ?

සුසිලක්කා ඇසුවාය.

අනේ නෑ සුසිලො, මමයි කිව්වෙ එහෙම ඇඳන් යන්න කියලා.

මොනවා! අර මොකෝ ඒ?

දැන් එකි දීගෙ දෙන වයසෙ. තවම මනමාලයෙක් හොයාගන්න බැරිවුණා. ඉතින් ඔහොම යනකොට මොකෙක් හරි එක්ක මාට්ටුවෙන්නෙ නැතෑ.

ශාන්තිනී කීවාය. එතකොට සුසිලක්කා ඇසුවේ,

ඈ බං එතකොට මේකී මොකෙක් හරි එක්ක පැනලා යාවිනෙ? කියාය.

ඒක මොන තරම් ලොකු දෙයක් ද සුසිලො? අද මඟුලක් ගන්න ලේසියෙන් පුළුවනෑ. කීයක්නම් කියලා යනවද? ඊටත් දෑවැදි දෙන්න කොහෙන්ද සල්ලි හොයන්නේ?

කියා ශාන්තිනී කීවාය.

අනේ බුදු අක්කේ මම ගෙදර යනෝ. මගෙ මිනිහා ගෙදර එනවා වගේ පේනවා. ඔව් ඔව් මිනිහා තමයි.  අර දරකඩෙ හරියෙ එනව. මම මේ කෙල්ලගෙ ගවුමක් ඇඳන් ආවේ. මටත් බැනුම් අහන්න වෙයි ඒකට.

ඇයි කෙල්ලගෙ ගවුම ඇඳන් ආවා කියල ද?

සුසිලක්කා ඇසුවාය.

නෑ බං. උට බලන්න තියෙන ඒවා මම පිට එවුංට පෙන්නුවා කියලා.

එසේ කීයා ශාන්තිනී ගෙදර දිව්වාය.

(බ්‍රිතාන්‍ය මහ රැජින රජ පවුලේ විලියම් කුමරුගේ ඇඹේනිය කේට් කුමරිය අසංවර විලාසිතා වලින් සැරසී සිටි බව කියමින් දොස් නගන ලද පුවතක් සමාජ ජාලා මාධ්‍ය ඡායාරූප ද සමගින් පළකර තිබිණි. ඒ සිද්ධිය ලංකාවේ ගමක සිදු වූවා නම් ඇතිවෙන තත්ත්වය උපකල්පනය කර මෙම සටහන ලිවීමි. මේ බව මහ රැජිනට නොදන්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.)

මනෝසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *