Breaking News
Home / Events / සිනමා ලොව වර්ණවත් කළ පිදිය යුත්තන් පිදූ 2019 ජනාධිපති සම්මාන උළෙල

සිනමා ලොව වර්ණවත් කළ පිදිය යුත්තන් පිදූ 2019 ජනාධිපති සම්මාන උළෙල

2019 ජනාධිපති සම්මාන උළෙල


2009 වසරේ ජනාධිපති සම්මාන උළෙල අගෝස්තු 26 වැනි දා සන්ධ්‍යාභාගයේ සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වන තුරුම නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විනි. ප්‍රධාන ආරාධියා ව‍ශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අතර චිත්‍රපට සංස්ථාව බාර අමාත්‍යවරයා ලෙස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු බාර ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාව නියෝජනය කළේය.

2019 ජනාධිපති සම්මාන උළෙලේ සම්මාන ලාභීහු.

හොදම චිත්‍රපටය 2016 – ඇගේ ඇස අග

හොදම චිත්‍රපටය 2017 – 28

හොදම චිත්‍රපටය 2018 – දැවෙන විහගුන්

හොදම නළුවා 2016-2018 – මහේන්ද්‍ර පෙරේරා
 (28 සහ දැවෙන විහගුන්)

හොදම නළුවා 2017 – දසුන් පතිරන (සයපෙති කුසුම)

හොදම නිළිය 2016 – ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග )

හොදම නිළිය 2017 – සේමිණි ඉද්දමල්ගොඩ (28)

හොදම නිළිය 2018 – අනෝමා ජනාදරි (දැවෙන විහගුන්)

2016,2017,2018 යන වර්ෂවල තිරගත වූ සිනමාපට වල දක්ෂකම් දැක්වූ විශිෂ්ටයන්හට මෙම සම්මාන උලේළේ දී සම්මාන පිරිනමන ලදී.

සම්මාන උළෙලේ විශේෂිත අංගයක් වූවේ සිනමාව උදෙසා සිය ජීවිත කාලය කැපකරමින් සිනමා කර්මාන්තය ගොඩනැගීමට උරදුන් ප්‍රවීනයන් රැසක් සිනමාව වෙනුවෙන් කළ සේවය අගයමින්  සම්මාන පිරිනැමීමයි. එය සෙසු කලාකරුවන්ගේ මෙන්ම රසිකයන්ගේ නොමද ප්‍රශංසාවට පාත්‍රවිය.

එම සම්මාන – විශ්ව කීර්ති සම්මානය – 2019, ස්වර්ණසිංහ සම්මානය – 2019,  පුරෝගාමී සම්මානය 2019 වශයෙන් නම් කර තිබුණි.

විශ්ව කීර්ති සම්මානයෙන් දෙදෙනෙකු ද, ස්වර්ණ සිංහ සම්මානයෙන් තිදෙනෙකුද, පුරෝගාමි සම්මානයෙන් හය දෙනෙකුද පිදුම් ලැබීය.

2019 විශ්ව කීර්ති සම්මානයෙන් පුදනු ලැබුවේ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර හා රංගනවේදිනී අනෝමා ජිනාදරී යන මහත්ම මහත්මීන් දෙදෙනාය.

විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූවන්

සංජීව පුෂ්ප කුමාර

සිය කුළුඳුල් සිනමා නිර්මාණය තුළින්ම ජාත්‍යන්තර අවධානය තමන් වෙත ළඟා කරගැනීමට සමත් වූ ඔහු එකී නිර්මාණය සමඟින් ජාත්‍යන්තර උලෙළ 29ක් නියෝජනය කරමින් ජ්‍යාන්තර සම්මාන 5කින් පිදුම් ලැබීමට සමත් වූයේය. කාන්තාවක් මූලික කරගත් සිනමාවක් හරහා සිය සිනමා භාවිතයේ විශිෂ්ඨත්වය විදහා දැක්වූ ඔහු සිය දෙවැනි සිනමා නිර්මාණය හරහා ද ජාත්‍යන්තරය ජය ගැනීමට සමත් වූයේය. 2016/2017 වර්ෂවල ඔස්කාර්, බර්ලින්, කයිරෝ, කාන් යන සිනමා උළෙවල් නියෝජනය කර ජයග්‍රහණය ලැබූ චිත්‍රපට අභිබවා යමින් 2017 වර්ෂයේ ස්විස්ටර් ලන්තයේ ජනීවා නුවර පැවති 15වැනි අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම වෘතාන්ත චිත්‍රපටය සඳහා ජූරිය විසින් පිරිනැමූ සම්මානය මෙන්ම යොවුන් සිනමා ජූරිය විසින් පිරිනැමූ සම්මානය ද යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමින් ශ්‍රී ලාංකේය සිනමාවට අත්කර දුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් දැවෙන විහඟුන් සිනමාපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මහතා 2019 වර්ෂයේ ජනාධිපති සම්මාන උලෙළේ දී විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනෝමා ජිනාදරී

ජගත් කිත් පැසසුම් ලද අශෝක හඳගමගේ මේ මගේ සඳයි සිනමා පටය තුළින් ශ්‍රී ලංකේය සිනමා වංශ කතාවට එක් වූ ඇය පළමුවරට 2003 වර්ෂයේ පැවති සිංගප්පූර් අන්තර් ජාතික සිනමා උලෙළේ දී  හොඳම

නිළියට හිමි සම්මානයට පාත්‍ර වෙමින්, ශ්‍රී ලංකේය සිනමාව තුළින් ජාත්‍යන්තර ඇගයීම් ලද 06 වෙනි ශ්‍රී ලාංකේය සිනමා නිළිය ලෙසින් ඉතිහාසයට එක්වූවාය. 2017 වර්ෂයේ ලොස්ඇන්ජලීස් නුවර පැවති 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට වරම් ලද සිනමාපටයන්හි රංගනයේ  නියැලුනු සියලුම ආසියානු කලාපීය රංගන ශිලිපිනියන්ගේ රංග කෞශල්‍ය අභිබවා යමින්, එකී උලෙළේ හොඳම නිළිය වෙනුවෙන් පිරිනැමූ බෙස්ට් ලීඩ් ඇක්ට්‍රසස් නම් වූ සම්මානයෙන් පිදුම් ලබමින් ශ්‍රී ලාංකේය සිනමාවට අත්කර දුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන්, දැවෙන විහඟුන් සිනමාපටයේ ප්‍රධාන රංග භූමිකාවට පණ පෙවූ සිනමා නිළි අනෝමා ජිනාදරී මහත්මිය 2019 වර්ෂයේ ජනාධිපති සම්මාන උලෙළේ දී විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ස්වර්ණසිංහ සම්මාන ලාභීන්

සුගතපාල සෙනරත් යාපා, රවීන්ද්‍ර රන්දෙනිය, නීටා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් 2019 ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලැබීය.

සුගතපාල සෙනරත් යාපා

සුගතපාල ‍සෙනරත් යාපා සිනමාවරට අවතීර්ණ වන්‍‍නේ 1965 වසරේ දී සාමා චිත්‍රපට‍යේ චරිතයක් නීරූපණය කිරී‍මෙන් හා ගීත නිබන්ධන‍යෙනි. 70 දශක‍යේ බිහිවන කල්ප සිනමාව සඳහා තිඹිරිගෙය වූ‍යේ සුගතපාල සෙනරත් යාපා 1969 දී නිර්මාණය කළ හන්තා‍නේ කතාව සිනමා කෘතිය යි. නවයුග‍යේ තාරුණ්‍යය පිළිබඳ අඛ්‍යානයක් හා ප්‍රකාශන රීතියක් ද 70 දශක‍යේ නව සිනමාවේ ප්‍රකාශකයන් බවට පත්‍වන සිනමා‍වේදීන් හා රූපනවේදීන්  සමූහයක් ද බිහිකර හන්තානේ කතාව නව සිනමා‍වේ පූර්වාදර්ශය බවට පත්විය.

ජීවිතය පිළිබඳ නිර්ව්‍යාජ දැක්ම ද සිනමා භාවිත‍යේ විචක්ෂණ බවද හන්තා‍නේ කතා‍වෙන් විශද කළ සුගත් ‍පෙම්බර මධු, ඉන්දුට මල් මිටක් සිනමා කෘතීන් සමග ‍මෙම රීතිය තවත් වර්ධනය කරමින් ජන ආකර්ෂණය දිනා ගත්‍තේය. ඔහු නිර්මාණය කළ වෘතාන්ත චිත්‍රපට තුනම ප්‍රකාශනය විසින් සුවි‍ශේෂ වූ අතර ‍වෙළඳපළ ජයගැනීමට ද සමත් විය.

මිනිසා සහ කපුටා ‍කෙටි චිත්‍රපට උ‍ලේ‍‍ළේ දී රජත මයුර සම්මාන දිනූ සුගත් තමා නිර්මාණය කළ අනාගත උපත දවස වාර්තා චිත්‍රපටය සඳහා 1979 ලිස්සිග් ජාත්‍යන්තර උ‍ලෙ‍ළේදීත්, ගරුඬගල වාර්තා චිත්‍රපටය උ‍දෙසා 1973 ‍ටෙ‍හෙරාන් ජාත්‍යන්තර උ‍ලෙළේ දීත් සම්මානයට පාත්‍ර විය.

දශක පහකට අධික කාලයක් වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණ‍යෙන් ද ‍කෙටි හා වාර්තා චිත්‍රපට නිර්මාණයෙන් ද ‍දේශීය සිනමා කලා‍වේ උන්නතිය ‍වෙනු‍වෙන් තම නිර්මාණ ජීවිතය කැප කළ සුගතපාල ‍සෙනරත් යාපා සිනමා‍වේදියාණන් ‍ගෞරව බහුමානයෙන් යුතුව ස්වර්ණසිංහ සම්මාන‍යෙන් පදනු ලබන වගයි.

රවීන්ද්‍ර රන්දෙනිය

රංගශිල්ප ශාලිකාවෙන් රූපණය විද්‍යාත්මකව හදරා ‍වේදිකාවෙන් රූපණය පිළිබඳ නියත විවරණ ලබන රවීන්ද රන්දෙනිය සිනමා රූපණයට එක්වන්‍නේ 1960 දශක‍යේ අවසන් අදිය‍රේ ය. රූපණයට පිවිසි මුල් අදිය‍රේම විශිෂ්ඨ සිනමාකරුවන්‍ගේ කෘති වලට දායක වී‍මේ භාග්‍ය ලබන රවීන්ද්‍ර තම නිසඟ කුසලතා භාවිත‍‍යෙන් ‍ප්‍රේක්ෂක අවධානය දිනාගැනුමට සමත් විය. මේ වන විට ද ප්‍රධාන භූමිකා නිරූපණ‍යේ සිටි ගාමිණි ‍‍ෆොන්‍‍සේකා, ‍ජෝ අබේවික්‍රම, ‍ටෝනී රණසිංහ ‍මෙන්ම සමකාලීන විජය කුමාරතුංග සමග ද සමතලයකට පිවි‍සෙමින් රූපණ‍යේ තම අනන්‍ය මුද්‍රාව තැබීමට ඔහු සමත්වනු‍යේ විවිධ භූමිකා

නිරූපණ‍යේ දී දැක් වූ ‍පෙරටුගාමී නිර්භය බව ‍මෙන්ම රූපණය හැදීරී‍මෙන් ලත් පන්නරය හා පරිචය ද භාවිත‍යෙනි. කළුදිය දහර, දෑස නිසා, දුහුල් මලක්, සිරිපාල හා රන්මැණිකා, වීර පුරන්අප්පු, චූඩාමාණික්‍ය, පොඩි මල්ලි, එක්ටැම්ගේ, සත්වෙනි දවස, ආරාධනා, සතර දිගන්තය, රෑ මනමාලි, දඩයම, හිමකතර, මයා, මංගල තෑග්ග, ජනේලය, සාගර ජලය බඳු චිත්‍රපටවල චරිත නිරූපණයෙන් මෙරට රූපණවං‍ශයේ රවීන්දුගේ භූමිකා නිරූපණ ප්‍රාතිහාර්යයයේත් මඟ සලකුණු වෙයි.

සිනමා කලාව හා සිනමා කර්මාන්තය තුළ තම මුද්‍රාව සනිටුහන් කරමින් එහි පැවැත්ම හා උන්නතිය උ‍දෙසා ඉටුකළ ප්‍රශස්තතම ‍මෙ‍හෙවර අගයමින් රනීන්ද්‍ර රන්දෙනිය මහා රූපණ‍වේදියාණන් ‍ගෞරව බහුමාණ‍යෙන් ස්වර්ණසිංහ සම්මාන‍යෙන් පුදනු ලබන බවයි.

නීටා ප්‍රනාන්දු

1965 වස‍රේ දී සතුටයි කඳුලයි චිත්‍රපට‍‍යෙන් සිනමා රූපණයට අවතීර්ණ වන නීටා ප්‍රනාන්දු වි‍නෝදාත්මක සිනමා‍වේ පෙම්වතිය‍ගේ චරිතය නිරූපණය කරමින් ඉතා ඉක්මනින් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් නිළියන්‍ගේ කණ්ඩායමට එක්වී‍මේ වරම හිමිකර ගත්තීය. සිනමා‍වේ සුවි‍ශේෂි ස්ථානයක් හිමිකර ගන්නා නීටා රූපණයේලා තම සැඟවුණු කුසලතා විදහාපාමින් ගැඹුරු චරිත නිරූපණයට එළ‍ඹෙන්‍නේ 1974 වස‍රේ තිරගත වූ හදවත් නැත්තෝ සිනමා කෘති‍යෙනි. ඉන් පසු ළසඳා, දුහුල් මලක්, මංගලා යන චිත්‍රපට සමගින් ඇය සංකීර්ණ ගති ලක්ෂණ වලින් යුත් භූමිකා සං‍වේදීව හා ශික්ෂණයෙන් යුතුව ප්‍රතිනිර්මාණය කරමින් මෙරට විශිෂ්ටතම රූපණ‍වේදිණියන් හා සමතලයකට එළඹියාය.

ඇගේ සිනමාවේ ‍දෙවන අදියර ඇර‍ඹෙන්නේ චිත්‍රපට නිෂ්පාදක වරියක් ‍ලෙසිනි. 1999 දී පවුරු වළලු චිත්‍රපට‍යේ වයලට්ගේ චරිතය නිරූපණය සඳහා සිංගප්පුරු අන්තර්ජාතික උ‍‍ලෙ‍ළේ දී ‍හොඳම නිළිය ‍‍ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ඉන් දශක ‍දෙකකට පසු පාංශු චිත්‍රපට‍යේ බබා ‍නෝනා‍ගේ චරිතය නිරූපණය සඳහා ප්‍රංශ‍යේ නීස් අන්තර්ජාතික චිත්‍රපට උ‍ලෙ‍ළේ දී නැවත වරක් ‍හොඳම නිළිය ‍ලෙස අභි‍ෂේක ලැබුවාය. දශක පහකට අධික සිනමා කලා චාරිකා‍වේ දී ප්‍රශස්තතම භූමිකා නිරූපණයෙන් ද, ජත්‍යන්තර කීර්තියක් රටට ‍ගෙන ඒ‍මෙන් ද, හරවත් සිනමා කෘති නිෂ්පාදන‍යෙන් ද ශ්‍රී ලාංකේය සිනමාව ‍වෙනුවෙන් ඉටු කළ විශිෂ්ඨ ‍සේවාව අගයමින් නීටා ප්‍රනාන්දු රූපණ‍වේදිණිය ‍ගෞරව බහුමාන‍යෙන් යුතුව ස්වර්ණ සිංහ සම්මාන‍යෙන් පුදනු ලබන වගයි.

ප්‍රවීනයන්ට 2019 පුරෝගාමි සම්මාන

2019 වසරේ පුරෝගාමී සම්මාන ය සිංහල සිනමාවට අනූපමේය සේවයක් කළ සිනමා  කලාකරුවන් හය දෙනෙක් වෙනුවෙන් පිරිනම ලදී. ශාන්ති අබේසේකර, ඇන්ටන් ගෙගරි, කේ.ඩී. දයානන්ද, ස්වර්ණා කහවිට, සුනිල් සෝම පීරිස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.

ශාන්ති අබේසේකර

1953 දී සිනමා රූපණයට එක්ව විනෝදාත්මක චිත්‍රපට කීපයක ජන ආකර්ෂණ දිනූ ප්‍රධාන චරිත රඟපෑමෙන්, තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් මෙන්ම නිෂ්පාදනයෙන් සිනමා කර්මාන්තයේ වර්ධන උදෙසා ඉටු කළ පුරෝගාමී සේවාව වෙනුවෙන් ශාන්ති අබේසේකර සිනමාවේදියාව පුරෝගාමී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

ඇන්ටන් ගෙගරි මහතා

1964 ධීවරයෝ චිත්‍රපටයෙන් සහය ශිල්පියෙක් ලෙස සිනමාවට පිවිස චිත්‍රපට පණහකට අධික සංඛ්‍යාවක සහය අධ්‍යක්ෂ ලෙසත්, පාරමිතා, මිස් ශ්‍රී ලංකා, යළි පිපිණු මලක්, හිතවතිය බඳු ආකර්ෂණීය චිත්‍රපටවල නිර්මාතෘවරයා ලෙසත් සිනමා කර්මාන්තයේ වර්ධනය උදෙසා ඉටුකළ ප්‍රසස්ථ මෙහෙවර අගයනු පිණිස ඇන්ටන් ගෙගරි සිනමාවේදියාණන්ට ජනාධිපති පුරෝගාමී සම්මානය පිරිනැමුණි. 

කේ.ඩී. දයානන්ද

ඩී.බී. නිහාල්සිංහයන්ගේ කැමරා ඒකකයෙන් කැමරාකරණය පිළිබඳ අත්පොත් තබා 1969 වසරේ දී රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයෙන් ප්‍රධාන කැමරා අධ්‍යක්ෂවරයකු බවට පත්ව ගතවූ වසර පණහක කාලය තුළ කලාත්මක හා විනෝදාත්මක සිනමා කෘතීන් රාශියක් තම රූප නිර්මාණ ශක්‍යතාවෙන් ඔප නංවමින් හා ලොකු තාත්තලා, ගල් වරුෂා බඳු ජන ප්‍රසාදය ප්‍රවර්ධනය උදෙසා ඉටු කළ මහඟු මෙහෙවර වෙනුවෙන් කේ.ඩී. දයානන්ද රූප නිර්මාණවේදියාණන්ට ජනාධිපති පුරෝගාමී සම්මානය පිරිනැමේ.

ස්වර්ණා කහවිට මහත්මිය

1967 වස‍රේ දී රහස් දූපත චිත්‍රපට‍යේ ප්‍රධාන ළමා චිරිතය රගපාමින් සිනමාවට අවතීර්ණව, ප්‍රධාන චරිත‍ය  නිරූපණය කළ  ප්‍රථම චිත්‍රපටය වූ බිනරමලී සඳහා හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමින් ජනාදරයට පත්ව, ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපට රාශියක ප්‍රධාන චරිතය නිරූපණ‍යෙන් ප්‍රකට කළ රූපණ කුසලතා ‍වෙනුවෙන් ස්වර්ණා කහවිට රූපණ‍වේදිනියට ජනාධිපති පුරෝගාමී සම්මානය පිරිනැ‍මේ.

සුනිල් ‍සෝම පිරීස් මහතා

1968 වසරේ දී නළු‍වෙකු ‍ලෙස සිනමාවට අවතීර්ණව චිත්‍රපට රැසක රඟපෑමෙන් ද සහාය අධ්‍යක්ෂවරයෙකු ‍සංස්කරණ ශීල්පියකු කතා හා තිර රචකයකු ලෙස විවිධ ක්‍ෂේත්‍රවල කුසලතා පළකරමින් ද අදායම් වාර්තා පිහිට වූ චිත්‍රපට පණහකට වඩා අධ්‍යක්ෂණය කරමින් ද සිනමා කර්මාන්ත‍යේ උන්නතිය ‍වෙනු‍වෙන් ඉටුකළ ප්‍රශස්ත ‍මෙ‍හෙවර ‍වෙනු‍වෙන් සුනිල්‍සෝම පීරිස් සිනමා‍වේදියාණන්ට ජනාධිපති පු‍රෝගාමි සම්මානය පිරිනැමේ.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා

1963 වසරේ දී සටන් නළු‍වෙකු ‍ලෙස සිනමා රූපණට එක්ව දශක පහකට අධික කාලයක් සටන් නළුවකු සටන් අධ්‍යක්ෂවරයකු ‍ලෙස වි‍නෝදාත්මක සිනමාවට ජවසම්පන්න සිනමාත්මක සටන් ක්‍රම‍වේදයක් හඳුන්වා දී ‍‍ප්‍රේක්ෂක ආකාර්ෂණයට පත්කිරී‍මෙන් ද චිත්‍රපට රාශියක ප්‍රධාන භූමිකා නිරූපණ‍යෙන් ද වි‍නෝදාත්මක සිනමාවේ පැවැත්ම උ‍දෙසා ඉටුකළ විශිෂ්ඨ සේවාව ‍වෙනු‍වෙන් ඇ‍ලෙක්සැන්ඩර් ප්‍රනාදු රූපණ‍වේදියාණන්ට ජනාධිපති පු‍රෝගාමි සම්මානය පිරිනැ‍මේ.

ඉහත හේත්පාඨ උපුටා ගැනුණේ ජනාධිපති සම්මාන උළෙල 2019 වෙනුවෙන් නිකුත් කෙරුණු 72 වසරක ලාංකේය සිනමාභින්නදනය සමරු කලාපයෙනි. ඒ ඒ ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ සම්පූර්ණ හේතුපාඨයම මෙහි ඇතුළත් නොවන බව සටහන් කරමු. මෙහි ඇතුළත් වන්නේ උපුටා ගන්නා කොටස් පමණි.

සිනමාවට අසීමිතව පෙම් බැන්ද එදින උපහාර ලැබු ශිල්පීන් අපගේ සිනමා ලොවේ සැබෑ වීරවරයන් වීරවරියන් ය.  රසික අපේ ගෞරවයත් ආදරයත් අපගේ උත්තමාචාරයත් ඔබ සැමට පුදකරන්නට මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම සිනමා මාධ්‍යවේදියකු වශයෙන් මගේ රාජකාරී කාලය පුරාවට ඔබෙන් ලැබුණු සහයෝගයට මගේ ප්‍රණාමය.

මනෝජ්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *