Breaking News
Home / Arts / ශක‍්‍රයාගේත් පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න

ශක‍්‍රයාගේත් පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න

දැනට වසර දහයකට පමණ පෙර මෙරට සමාජ දේශපාලන කරලියේ රග දෙන අපූරු චරිතයක් තිබේ. ඒ ශක‍්‍රයා ගේ පුතා වයිමා ය. එතෙක් අප සමාජයේ බොහෝ දෙනෙකු නොදැන සිටි  “වයිමා” හිටි හැටියේ අප සමාජ දේශපාලන කරලියේ මෙලෙස ලැගුම් ගන්නට වූයේ 2009 වසරේ දී පමණ එවක වෙළෙද, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ බන්දුල ගුණවර්ධයන් විසින් කරන ලද ප‍්‍රකාශයක් මුල් කර ගනිමිනි.

“ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ” යන ඇමතිවරයා ගේ එම ප‍්‍රකාශයේ ගැබ් වූ අරුත වූයේ බඩු මිල යනු රටක පොදු මිල මට්ටම නියෝජනය කරන්නක් බැවින් එය අඩුකරලීම ප‍්‍රායෝගික ලෙස කළ නොහැක්කක් බවත් ඒ සදහා වන විකල්පය වනුයේ ජාතික ආදායම ඉහළ නංවා ගැනීම බවත්ය.

එහෙත් ඔහුගේ එම සරල ප‍්‍රකාශය මාධ්‍ය කරලියේ රැව් පිළිරැව් දෙන්නට වූයේ ඒ කතාවට “කොහේවත් යන වයිමෙක්” අදාල කර ගැනීම නිසා විය යුතුය. නමුදු ඒ වන විටත් අප මේ රටේ බොහෝදෙනෙකු බන්දුල ගුණවර්ධනයන් සමාජ කරලියට කැන්දන් ආ මේ “වයිමා”ගේ පැටිකිරිය දැන සිටියේ නැත. ඒ අනුව ඉන් බොහෝ දෙනෙකු මූලිකවම වටහා ගෙන තිබුණේ බෞද්ධ සාහිත්‍යයේ එන ශක‍්‍ර දෙවේන්ද්‍රයාට “වයිමා” නම් පුත‍්‍රයෙකු සිටි බවය. ඒ බව මනාව පසක් වනුයේ ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය පදනම් කොට කාටූන් නිර්මාණය කළ බොහෝ කාටූන් ශිල්පීන් ඇමතිවරයාගේ රුව සමග ශක‍්‍රයාගේ රුව දේව ස්වරූපයෙන් චිත‍්‍රයට නංවා තිබූ බැවිනි. කෙසේ හෝ බන්දුල ගුණවර්ධනයන් මීට දස වසරකට පමණ ඉහත සමාජගත කළ මෙම “ශක්‍රයා – වයිමා”ප‍්‍රවාදය අද ද සජීවිමත් ලෙසින් සමාජ කරළියේ රග දෙන බවට නිදසුන් බොහොමයකි.

2016 වසරේ නොවැම්බර් 14 දා හම්බන්තොට ජන හමුවක් ඇමතූ නිවාස සහ සංස්කෘතික ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මේ ආණ්ඩුව එළවීමට ශක‍්‍රයාගේ පුත් වයිමාටවත් නොහැකි බව ප‍්‍රකාශ කළ අතර පසුගිය ජූලි 1 දා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම වැලැක්වීමට  “ශක්‍රයාගේ පුතා වයිමා”ටවත් නොහැකි බවය.

ශ‍්‍රී ලාංකීය බෞද්ධයන්ට සේම අන් ආගමිකයන්ට ද බෞද්ධ සාහිත්‍යයේ එන ශක‍්‍රයා අමුත්තෙක් නොවේ. ඒ ඔහු මෙරට ජන සංස්කෘතියේ වැදගත් භුමිකාවක් හොබවන බැවිනි. බෞද්ධ සංස්කෘතියට පිවිසි මෙම ශක‍්‍රයා පුරාතන හින්දු ආර්ය දෙවි කෙනෙකු වූ  “ඉන්ද්‍ර” ගේ විකාශනයක් බව ද පෙනෙයි. එහෙත් බෞද්ධ සාහිත්‍යයේ එන ශක‍්‍රයා සෙසු දෙවි මිනිසුන් සදහා  “පුත්‍ර” ආමන්ත‍්‍රණයේ යෙදෙන මුත් ඔහුට වයිමා හෝ වෙනයම් නමකින් පුතකු සිටි බව ත‍්‍රිපිටකයේ කිසිදු තැනක සදහන් නොවේ.

මේ අතර මෙම පිරුළට පදනම් වන  “ශක්‍රයා” සහ වයිමා ප‍්‍රවාදය ක‍්‍රිස්තු පූර්ව 549-486 අතර පර්සියාවේ රජ කළ ඩෙරියස් අධිරාජ්‍යයා සහ ඔහුගේ පුත් සක්සික් පදනම් කොට අපගේ ජන සංස්කෘතියට පිවිසෙන ලද්දක් බව ද ඇතැමෙක් පවසති.

එහි දී ඩෙරියස් අධිරාජ්‍යයා බෞද්ධ සාහිත්‍යයේ එන ශක‍්‍රයාටත් ඔහුගේ පුත් සක්සික් බෞද්ධ පොත පතෙහි එන විශ්වකර්මයාටත් සම වන බැවින් ඩෙරියස් යුගයේ දී ග‍්‍රීක ආක‍්‍රමණවලින් බිදවැටුණු පර්සියානු අධිරාජ්‍යය ගොඩ නැගීමට සක්සික් තුළ පැවැති හැකියාව මත ඔහු ඩෙරියස්ටත් වඩා ප‍්‍රබලයකු ලෙස ඉතිහාසයේ සදහන් වෙයි.

එහෙත් මෙම පර්සියානු පුරාවෘත්තය අප ජන සංස්කෘතියට පිවිසෙන ලද්දේ කවදා, කෙලෙස, කිනම් අයුරකින් ද යන්න පැහැදිලි කිරීමට කිසිවකුටත් හැකිවී නැත.

එහෙත්, මීට විසි වසරක පමණ සිට වන්නි හත්පත්තුවේ යක්ෂ දේව ප‍්‍රවාද පිළිබද විමසුමක් කළ මට 2002 වසරේ දී පමණ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ දී මෙම අප‍්‍රකට ශක‍්‍රයා හා වයිමා අහඹු ලෙස හමු විය. ඒ හත්කෝරළයේ ජන කතාවක් මගිනි. එහෙත් එම ජනකතාවේ මානව විද්‍යාත්මක පසුබිම විමසා බලන විට මා හට පසක් වූයේ මෙම ශක‍්‍රයාගෙන් සහ වයිමාගෙන් දහ නව වන සියවසේ අග භාගයත් විසි වන සියවසේ මුල භාගයත් අතර කාල පරාසයක  “සමාජ නිරූපණයක්” පිළිබිඹු වන බවකි.

මෙම ජන කතාවේ එන ශක‍්‍රයා දහ නව සියවසේ අග භාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේ මෙරට බිහිවූූ පහතරට ධනපති පැලැන්තිය නියෝජනය කළ “සොයිසා” නමැත්තෙකි. තමන් සතු ධනය යොදා හත් කෝරළයේ එකට මායිමව තිබූ පොල් වතු රැසක් මිලට ගෙන එහිම තැනූ මැදුරක ජීවත් වූ මොහු ගැමියන් විසින් හදුන්වනු ලද්දේ ශක‍්‍රයා යනුවෙනි. සොයිසාට ඒ ශක‍්‍ර නාමය ලැබීමට හේතුව ඔහුගේ මුල් නම  “සැක්‍රියන්” වූ නිසා යැයි ද කියනු ලැබේ.  එමෙන්ම සොයිසා ගත කළ කාමභෝගී ජීවිතයද ඔහුට එම ශක‍්‍රයා යන අභිධාන නාමය යෙදෙන්නට හේතු වන්නට හැක.

එවක සමාජයේ ඉහලම පිළිගැනීමක් තිබූ සොයිසාට ධන බලයෙන් සේම පිරිස් බලයෙන්ද කිසිදු අඩුවක් නොවිණි. තම පොල්වතු කොප්පරා මඩු,  තෙල් මෝල් ආදියේ සේවය කළ සේවක කාරකාදීන් “හොදින් බැරිනම් නරකින්”හසුරුවා ගැනීම පිණිස වූ මැර කල්ලියක් ද ඔහු යටතේ සේවය කර ඇත.

එම ජනප‍්‍රවාදයේ දැක්වෙන අන්දමට මෙම සොයිසා නීති සහ සදාචාර නියමයන්ට එපිටින් කම්සැප සොයන්නෙකි. එහිදී තමන් යටතේ සේවය කරන සේවක කාරකාදීන්ගේ අඹුවන් සහ දියණිවරුන් ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වසගයට ගැනීම ද සොයිසාගේ සාමාන්‍ය දින චරියාවේ අංගයක්ව තිබී ඇත. එමෙන්ම ඒ වන විට ඔහුගේ බල පරාක‍්‍රමය ප‍්‍රදේශය පුරා කොතෙක් ව්‍යාප්ත වී තිබිණි ද යත්  “ශක්‍රයාට බැරි දෙයක් නැතැ”යි යන රාවය දිළිදු ගැමි හදවත් වල අරක් ගෙන තිබිණි.

මිල මුදල් අතුරින් එතරම් පොහොසත් නොවූ එවක ගැමියන්ගේ ප‍්‍රධානතම ධනයක් වූයේ ගව සම්පතය. එනිසාම එවක ජන සමාජයේ ගෙවල් බිදීමටත් වඩා  “හරක් හොරකම” ව්‍යාප්තව තිබිණ. මෙවන් තත්ත්වයක් යටතේ ගැමියන්ගේ නැති වූ ගවයන් සොයා දීමට ද  “ශක්‍රයා” ට පසු හැකියාවක් ඇති බව වටහාගත් ගැමියෝ තමන්ගේ ගවයකු නැති වූ සැනින්  “ශක්‍රයා” සොයා ගොස් ඒ දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පුරුදුව සිටියහ. එවිට තමන් හමුවීමට එන ගැමියාගෙන් ලද හැකි ලාභ ප‍්‍රයෝජන වලට ඉවඇල්ලූ ශක‍්‍රයා ගවයා සොයා දීම උදෙසා ඉල්ලන අල්ලසක් ලෙස එවැනි නොයෙක් දේ ගැමියන් ගෙන් අයුතු ලෙස ලබා ගත්තේය. ඒ අතර ඒ ගව හිමිියාගේ තරුණ බිරිද හෝ තරුණ දියණිය ගෙදර දොරේ වැඩ කටයුතු සදහා යැයි පවසමින් තම නිවසට කැදවාගෙන දින කිහිපයක් දිවා රාත‍්‍රී එහි රදවා ගැනීම ද ශක‍්‍රයාගේ එක් උපාය මාර්ගයක් විය.  එහි සැබෑ අරමුණ සහ එහි දී එම කතුන්ට සිදු වූ දේවල් අමුතුවෙන් කිව යුතු නැත. මේ අතර තම සහචරයන් සමග ගමේ ගොඬේ ඇවිදීමට යන අතරේ එහි ගැමි නිවසක නෙත් සිත් අදනා ගැහැනු රුවක් දුටුවහොත් ඊට ආසන්නතම දිනයක එම නිවසේ ගවයකු නැති වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් විය. එවිට ඒ ගව හිමියා ශක‍්‍රයා සොයා පැමිණි අතර එම ගවයා සොයා දෙන තුරු තම නිවසේ වැඩපල සදහා එම කාන්තාව ගෙන්වා ගැනීම ද ශක‍්‍රයාගේ නිරන්තර පුරුද්දක්ව තිබිණි. එහෙත් ශ‍ක්‍රයා සතු සුවිසල් සමාජ ආර්ථික ශක්තිය නිසා ඔහුගේ මෙම ලිංගික සූරාකෑම ඇතුලු සෙසු අයුතු ක‍්‍රියාවන්ට එරෙහි වීමට එකල කිසිවෙක් ඉදිරිපත් නොවූහ. ඒ බොහෝවිට එය අභිරහස් මරණයක් දක්වා දුරදිග යා හැකිව තිබූ බැවිනි.

ශක‍්‍රයා නමින් හදුන්වනු ලැබූ සොයිසා නම් මෙම ධනකුවේරයාට “වයිමන්” නම් පුතෙක් සිටියේය. නමුත් ඔහු හදුන්වන ලද්දේ “වයිමා” යනුවෙනි. ළමා වියෙන් කෙමෙන් තරුණ වියට එළැඹුණු “වයිමා” තම පියාගේ මෙම සියලූ අවකල් ක‍්‍රියා දෙස රහසින් විමසිලිමත් විය. එමෙන්ම තුරුණු වියට පැමිණෙත්ම තම පියාගේ ධනස්කන්ධයෙන් කොටසක් “යටි මඩි” ගැසූ වයිමා ද ශක‍්‍රයා මෙන් තමන්ට ද වෙනම මැර කල්ලියක් තනා ගත්තේය. ඉන්පසු ඔවුන් විසින් ශක‍්‍රයාගේ බලයට වඩා සුවිසල් බලයක් “වයිමා” සතුව ඇති බව සමාජය පුරා ප‍්‍රචලිත කරන ලද්දේ ශක‍්‍රයා විසින් සිය සහචරයන් ලවා උපක‍්‍රමශීලීව සොරකම් කරවනු ලබන ගවයන් වයිමා විසින් තම සහචරයන් ලවා සොරකම් කොට වෙනම තැන් වල සගවා තැබීමත් සමගය. ඒ අනුව පසුකාලීනව නැති වූ ගවයන් සොයා දීම සම්බන්ධයෙන් ශක‍්‍රයාට වඩා විශේෂ බලයක් “වයිමා” සතු බව ජන විඥානයේ තහවුරු විණි. එමෙන්ම එම ක‍්‍රියාදාමය ඔස්සේ වයිමා තම පියා සතු කම්සැප විදීමේ “යාන්ත්‍රණය” බලයෙන් තමන් සතු කරගත් බව පෙනෙයි.

ඒ කෙසේ හෝ ශක‍්‍රයා සහ වයිමා සියපුතු දෙපළගේ මෙම අධම ක‍්‍රියා පටිපාටිය පිළිබදව කලක් විමසිල්ලෙන් සිටි ප‍්‍රදේශයේ තරුණ පිරිසක් ඔවුන්ට නොහැගෙන සේ ශක‍්‍රයාගේත් වයිමාගේත් බලය බිද දැමීමේ රහසිගත ක‍්‍රියාන්විතයකට මුල පිරීය. ඒ ශක‍්‍රයා විසින් සහ දෙවනුව වයිමා විසින් සොරකම් කොට සගවන ලද ගවයන් ඔවුන් දෙදෙනාටම රහසින් පැහැරගෙන ගොස් වෙනම තැනක රදවා තැබීම මගිනි. ඉන්පසු උන් හරක් හොරුන්ට හසු වූ බව පෙනේ. එමගින් සිදුවන ලද්දේ පළමුව ශක‍්‍රයා සතුවත් දෙවනුව වයිමා සතුවත් පැවති එම නැති වූ ගවයන් සෙවීමේ බලය කෙටි කලක් තුළ අහෝසි වී යාමය.

මීට දාහත් වසරකට පමණ ඉහත දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දී මට “හමු වූ” ශක‍්‍රයාගෙත් වයිමාගේත් කතා ප‍්‍රවෘත්තිය එය වන අතර,  “ශක්‍රයාගේ පුතා වයිමාටත් බැරි නම් ඉතින් බෑම තමයි” යන පිරුළ හත්කෝරළය සමාජගත වී ඇත්තේ ඉන්පසුවය.

කෙසේ වුවද ඉන් වසර හතකට පමණ පසුව බන්දුල ගුණවර්ධයන් විසින් 2009 වසරේ දී පමණ සමාජගත කරන ලද මෙම ශක‍්‍රයා සහ වයිමා පිළිබද පිරුළ මෙරට සමාජ දේශපාලන කරළිය දෙවනත් කරද්දී එම චරිත දෙක පිළිබද මෙම අප‍්‍රකට ජනප‍්‍රවාදය මාධ්‍ය මගින් එළි දැක්වීමට මට කිහිප වරක් සිත් විය. එහෙත් විවධාකාර හේතු මත එය දිනෙන් දින කල් යන පසුබිමක් යටතේ එවක  මා සම්බන්ධව සිටි මාධ්‍ය මගින් එය කෙටියෙන් ඉදිරිපත් කිරීමට මා පුත් සහන් සංකල්ප සිල්වා ඉදිරිපත් විය.

නමුත් බන්දුල ගුණවර්ධයන්ගේ හදුන්වාදීම ඔස්සේ සමාජ කරළියට පැමිණි මෙම ශක‍්‍රයා සහ වයිමා යන සමාජ ආකෘතීන් දෙක මුල් කරගත් පිරුළ ඉදිරි ජනාධිපතිවරණ සමයේ විවිධ අර්ථ නිරූපණ සහිතව සමාජ දේශපාලන කරළියේ රැව් දෙනු ඇත. ඒ සදහා වන පූර්වගාමී කටයුත්තක් ලෙස දැනටත් නම් වශයෙන් පමණක් බොහෝ දෙනා දැන හැදින ගෙන හිදින මෙම ශක‍්‍රයාගේත් වයිමාගේත් සැබෑ  “හැදුනුම්පත් දෙක” ඔබ හමුවට ගෙන ගෙන ආ යුතු යැයි මට සිතුනේ එබැවිනි.

තිලක් සේනාසිංහ.

Check Also

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *