Breaking News
Home / Arts / හැත්තැව දශකයේ කැපුවත් නොකැපුණු ජෝති….

හැත්තැව දශකයේ කැපුවත් නොකැපුණු ජෝති….

කැපුවලු කපනවලු එත් තවම කෙලින්මේ චින්තන ජයසේන සංස්කරණය කළ සතිපතා “සිත්සර”සිනමා පත්‍රයේ 1976 වසර අවසන් කලාපයක් සඳහා එදා මෙදා තුර මෙරට බිහිවූ අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් කළ ප්‍රකාශයකි, මේ ප්‍රකාශයෙන් ඔහු ඉතා වේගවත්ව අදහස් දක්වා තිබුණේ මෙරට ගුවන් විදුලියෙන් ඒ වනවිට ඔහුට සිදුවෙමින් පැවති යම් යම් අසාධාරනකම් ගැනය. අද මෙන් විශාල ගුවන් විදුලි සේවා ගණනක් නොතිබු එම යුගයෙහි  රුපවාහිනි සේවාවන්ද නොතිබූ අතර රජයේ ගුවන් විදුලිය එකම ප්‍රබලතම  ජනමාධ්‍ය ලෙස කැපී පෙනුනායයි පැවසුවහොත් එය ඉතාමත් නිවැරදිය. මිට අමතරව එකල පැවති අනෙකුත් ජන මාධ්‍ය ලෙස  සිනමාව  හා පුවත්පත් හඳුන්වා දිය හැකි අතර එකල ගුවන් විදුලියේ සිංහල අසන්නන් සඳහා තිබු විකාශන දෙක සිංහල පළමුවන හා දෙවන සේවා වශයෙන් හැඳින්විණි.  මේ අතරින් වෙළඳ වැඩ සටහන් ,එමෙන්ම  චිත්‍රපට සම්බන්ධ ප්‍රචාරක වැඩ සටහන් ප්‍රචාරය වුයේ සිංහල දෙවන සේවය හරහාය. එබැවින් වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හුරු වී සිටියේ දෙවන සේවයට සවන් දෙන්නටයයි  පැවසුවහොත් එය ඉතාමත් නිවැරදිය.

විනෝදාත්මක ,වාණිජ සිනමාව ජනප්‍රියත්වයෙන්  ඉහලින්ම තිබු එම යුගයේ මෙවන් චිත්‍රපට වැඩි ගණනක ඇතුලත් වුයේ ජෝති,ඇන්ජලින්,සුජාතා,ලතා,එම.එස්.,මිල්ටන් වැනි ගායක ගායිකාවන්ගේ ගීතය, මේ නිසාම මොවුන්ගේ ගීත ගුවන් විදුලියෙන් වැඩි වශයෙන්ම ප්‍රචාරය වීම අනිවාර්යය දෙයක් බවට පත්වීම අරුමයක් නො විය. හැත්තෑව දශකයේ මුල් වසර කිහිපය තුළ තත්වය එතරම් අයහපත් නොවුනත් ක්‍රමයෙන් ජෝති,එම.එස්.යන ගායකයින්ගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම අඩුවන අයුරක් 1975 වසර පමණ වන විට දැක ගන්නට තිබිණි. එයට හේතුව මොවුන් එවකට තිබු විරුද්ධ පක්ෂයේ වේදිකාවට නැගීම බව සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් කියවු නමුත් ගුවන් විදුලිය පැත්තෙන් ඇසුණේ වෙනම කතාවකි. ඒ එවකට චිත්‍රපටවල බොහෝ විට උතුරු ඉන්දීය අනුකාරක ගීත ඇතුලත්වීම හේතුවෙන් දේශීය සංගීතය නගා සිටුවීම උදෙසා මෙවන් ගීත සිමා කරන්නට සිදුවී ඇති බව , එසේ වුවද පුදුම උපදවන සිදුවීමක් නම් සරත් දසනායක වැනි ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගීතයට ජෝති ගැයූ ගීත පවා ප්‍රචාරය නොවීමය. මෙවන් වාතාවරණයක් යටතේ ජෝතිගේ රසිකයින්ට ඔහුගේ ගීත සම්පුර්ණයෙන්ම රස විඳින්නට නම් ගී තැටි යන්ත්‍ර මිලදී ගැනීමට සිදුවූ අතර එසේ නැතහොත් එකම චිත්‍රපටය කිහිප වරක්ම නරඹන්නට සිදුව තිබිණි. වත්මන්හි මෙවන් යන්ත්‍ර පමණක් නොව රුපවාහිනි යන්ත්‍ර පවා සෑම  නිවසකම අනිවාර්යය අංගයක්ව ඇති නමුත් එදා ගී තැටි යන්ත්‍ර හෝ කැසට් යන්ත්‍ර තිබුණේ  සමාජයේ යමක් කමක් ඇති කිහිප දෙනෙකු අත පමණි.

 විශේෂයෙන් 1975,1976 වසර පමණ වනවිට ජෝතිගේ සරල ගීත මෙන්ම චිත්‍රපට ගීතද ගුවන් විදුලියේ ප්‍රචාරය නොවන තත්වයකට පත්ව තිබිණි. මෙම කාලය තුල ඔහු ගී ගැයූ චිත්‍රපට රැසක්ම තිර ගත වූ අතර බොහෝ  චිත්‍රපටවල ඔහු ගැයූ ගීත හතරක් පහක්ම අඩංගු වීම කැපී පෙනුණු සිදුවීමකි. මේ අතරින් සුරයා සුරයාමයි චිත්‍රපටය සඳහා ඔහු ගායනා කළ “හිතලා බැලුවද ලොකු නෝනලා, දෑස පිරේ,ආදරයේ බැඳුනු දිනේ,ඔබ නිල්මිනි වූ දෑසේ ” වැනි ගීත අතරින් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුයේ”ඔහු ඇන්ජලින් සමග ගැයූ දැස පිරේ නමැති ගීතය පමණකි. එමෙන්ම  සංගීතා චිත්‍රපටයේ ඔහු ගේ  “මි පිරුණු සුවඳ මල් වනේ ,ඉර සඳ වැඳලා,ලෝකයේ වෙනස් වුණේ ,සල් සපු නා, ඔබේ සැප මගේ සතුටයි,පායන ඉර සඳ” වන් ගීතවලින් ඇන්ජලින් සමග ගැයූ ඉර සඳ වැඳලා ගීතය ප්‍රචාරය වූ අතර “මි පිරුණු සුවඳ මල් වනේ “වැනි මධුර ගීත ප්‍රචාරය නොවිණි. 1976 තිරයට පැමිණි කවුද රජා චිත්‍රපටයට ඔහු ගායනා කළ “පන්දම් අල්ලා ගත් නම්බු නාමේ, දිනේ ලංකා, රන්වන් පහන කෝ, මා කවුදෝ කවුරුදෝ යන ගීතවලින් “මා කවුදෝ කවුරුදෝ” යන ගීතය ප්‍රචාරය වූ අතර මෙහි දැක ගන්නට ලැබුණු අපුරුතම සිදුවීම වුයේ ජෝති ඇන්ජලින් දෙදෙනා ගැයූ දිනේ ලංකා ගීතය ප්‍රචාරය වූ ආකාරය යි. ඒ සම්බන්ධව ජෝති මෙසේ කියයි, “මගේ ගීත තහනම අතර නොම්මර එකේ විහිළුවක් ඇත,කව්දරජා චිත්‍රපටයේ ඇන්ජලින් හා මම ගයන “දිනේ ලංකා “ගීතයේ ඇන්ජලින් ගයන කොටස ප්‍රචාරයට අනුමත කර තිබේ,එහෙත් ඒ පදමාලාව ඒ තනුවටම අනුව මා ගයන කොටස ගුවන් විදුලිය විසින් ප්‍රචාරයට නුසුදුසු යැයි තහනම් කර ඇත.මේ පුද්ගලික අමනාපකම්ද කියා මා නොදනිමි.”මෙසේ මෙම ගීත ගුවන් විදුලියෙන්  ප්‍රචාරය වීම සීමාවූ නමුත් මේ ගිත සිනමා ලෝලීන් හා ගීත රසිකයින් අතර ඇති  කර ගත්තේ ඉමහත් ජනප්‍රියත්වයකි. මේ ගීත නිසාම එකම චිත්‍රපටය කිහිප වරක් නරඹන්නට ප්‍රේක්ෂකයින් පෙළඹිණි. ජෝති ගැයූ ගීත ගුවන් විදුලිය සිමා කළත් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකවරුන් තමන්ගේ චිත්‍රපට සඳහා යලි යලිත් ඔහුවම යොදා ගැනීම සුවිශේෂ කරුණකි. මේ අනුව ජෝතිගේ ගීත සිමා කිරීම තුලින් ඔහුව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්නට කිසිවෙකු හෝ බලාපොරොත්තු වුයේ නම් ඒ අරමුණ කිසිසේත් ඉටු නොවු බව කිව හැක.

දේශපාලන නායකයින් අතරින් ඔහු වඩාත් ප්‍රිය කළ අයෙකි හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා,තම ජිවිතයේ අවසන් කාලයේ එනම් 1987 අප්‍රේල් මාසයේ  තම අන්තිම කැමති පත්‍රය සම්බන්ධයෙන් “තරුණයා”පත්‍රය සමග පිළිසඳරක යෙදෙමින් ඔහු පවසන්නේ මෙසේය,”මගේ දේහය දෙපස  අගමැතිතුමාගේ හා කේමදාස මාස්ටර්ගේ පින්තුර දෙකක් තැබිය යුතුයි,ඒ මන්ද මට නැගී සිටින්නට අත දුන්නේ ඔය උත්තමයින් දෙදෙනායි.”

 එමෙන්ම  1977 මහා මැතිවරණයේදී ඒ වනවිට විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටි කලාකරුවෙක් වුයේද ජෝතිපාලයානන්ය, ,විශේෂයෙන්ම මැද කොළඹට තරග කළ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු එම ආසනයේ පැවති රැස්වීම් රැසකදීම දැක ගැනීමට ලැබුණු අතර ඔහු වේදිකාවට නැගී සැනින් මැද කොළඹ වේදිකාවේ ප්‍රධාන නිවේදක වශයෙන් කටයුතු කළ හඩ්සන් සමරසිංහ මහතාට බොහෝ විට කරන්නට සිදුවුනේ මෙවන් ප්‍රකාශයකි. තමුන්නාන්සේලා වෙනදා වගේ ජෝතිපාල මහතාගෙන් හෝ හෝ තුෂාරා ඉල්ලන්න එපා,අපි තුෂාරා කියමු 22 දායින් පස්සේ,”එයට හේතු වුණේ මෙම වේදිකාවල බොහෝ විට ගැයුනේ මැතිවරණ ගීත නිසයි,” බයිය  බබෝ ලක්ස්ප්‍රේ ඒවි ,චුටි පුතා කිරට හඬාවී ,කඳුලින් මාගේ දෑස තෙමේවි,අපටත් දවසක හඳ පායාවි මේ එදා ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ ජෝතිගේ හඬින් ගැයුණේ රන් තිලකා චිත්‍රපටයේ ඔහු ගැයූ බයිය බබෝ බිල්ලා ඒවි යන ගීතයේ තනුවට අනුවය.

1977 ජුලි මස 22 දාට එළිවන විට ජෝතිපාලහට එල්ලවී තිබු ගුවන් විදුලි වාරණය ඉවත්වී තිබීමේ ලකුණු දසතින්ම දිස්වන්නට විය . ඒ ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකත්වය දැරූ නව රජයක් බලයට පත්වීමේ ලකුණු පහල වීමත් සමගිනි, එදින පාන්දරින්ම ,1970 තිරයට ආ ඔහොම හොඳද චිත්‍රපටයට ඔහු ගැයූ රජකම් කෙරුවත් කළ කම් පලදේ නම් ගීතය විකාශය වුවේ ඔහුගේ ගුවන් විදුලි වාරණය අවසන් කරමිනි.

1978 වසරේ මුල ප්‍රේමදාස ඇමතිතුමා (ඒ වනවිට එතුමා නව රජයේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාවූ අතර අග්‍රාමාත්‍ය තනතුරෙහි දිවුරුම් දුන්නේ එම වසරේ පෙබරවාරි මස 06 වනදායි), ලියු දේශාභිමානි ගීත ගායනා කරන්නට  ජෝතිට අවස්තාව හිමිවීම තවත් අමතක කළ නොහැකි සිදුවීමකි,ඒ ගැන ඔහු ජනවාරි මස 20 දින සුරතුර සිනමා පත්‍රයට  මෙසේ පවසයි, ඇමතිවරයෙක් ගීත රචනා කිරීම අපිට අමුතු දෙයක් නොවෙයි,නමුත් ප්‍රේමදාස මහතා ලියු මේ ගීතයේ අනෙක් ගීතවලට වඩා වෙනසක් තියෙනවා,ගැහැණියකගේ පතිවත ගැන නෙමෙයි ප්‍රේමදාස මහත්තයා ලිවේ,අප ජිවත්වන අපව ජිවත් කරන රට ගැනයි,එත් පසු ගිය කාලේ  ගුවන් විදුලියෙන් ඇසුණු  කටෝර දේශාභිමාන ගීත  වලට වඩා ඉතාමත් සරල පදමාලාවක් තමයි එතුමා අතින් ලියවී තියෙන්නේ, ඇත්තෙන්ම එවැනි දේශාභිමානි ගීතයක් ගයන්නට ලැබීම ගැන මා නිහතමානි ආඩම්බ රයක් ලබනවා” ප්‍රේමදාස මහතා ලියු ,ජෝති ගායනා කළ ගීත අතර වඩාත් ස්විශේෂී වන්නේ “සමනල මුදුනේ” හා “පෙරදිග අහසේ “යන ගීත බව පැවසිය හැකියි.

                                             අනිල් වීරසිංහ

                                                                                          

Check Also

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *