Home / Edification / තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් අහිමිව වසර හතරකින් ගෙදර යන  විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මෙරට දේශපාලන ඉතිහාසයට එක්වෙයි

1977 දී ජේ ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක්  දිනාගන්නා එක්සත් ජාතික පක්ෂය මෙරට විධායක ජනාධිපති ක්‍රමය  ස්තාපිත කිරීම සදහා පෙරමුන ගන්නේ ජේ. ආර්.ජයවර්ධන විසින්ම සකස් කරන නව ව්‍යවස්ථාවක් අනුවය. එම ව්‍යවස්ථාව අනුව  1978 දී මෙරට  ප්‍රථම විධායක  ජනාධිපති  වශයෙන් පත්වන ජේ ආර් ජයවර්ධන   1982 දී මහජන ඡන්දයෙන් නැවතත් වසර පහක්  බලය තහවුරු කරගනී.

‍ජේ ආර්. ගේ ව්‍යවස්ථාව අනුව  ජනාධිපතිවරයකුට  නැවත ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත්විය හැකි වූයේ  දෙවතාවක් පමණි.  ඒ අනුව ඔහුගේ  ධුර කාලය 1988 අවසන් වන අතර ඉන්   අනතුරුව 1988 දී මහජන ඡන්දයෙන් දෙවන විධායක ජනාධිපති ලෙස බලයට පැමිණෙන්නේ අගමැති   ආර්. ප්‍රේමදාසයි.

ඔහු  බලයේ සිටියදීම ඝාතනය කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාව අනුව  එවකට අගමැතිව සිටි  ඩී. බි. විජේතුංග ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. එලෙසින්  17 වසරක් එජාපය අත තිබූ විධායක ජනාධිපති  ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රි ලකා නිදහස් පක්ෂය අතට පත් වන්නේ   1994 දී මහජන ඡන්දයෙන් සිවුවැනි විධායක  ජනාධිපති ධුරයට  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පත්වීමත් සමගය.

ඉන්පසු ඇය නැවතත් මහජන ඡන්දයෙන්ම 1999 දී එම ධුරයට පත් වූවාය.

චන්ද්‍රිකාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු 2005 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී විධායක ජනාධිපති ධුරයට පත් වූ   මහින්ද රාජපක්ෂද යළිත් 2010 දී මහජන ඡන්දයෙන් බලයට පත්වී ඔහු විසින්ම ගෙන එන ලද  18 වැනි ව්‍යවස්ථා සංශොධනය අනුව තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී 2015 දී පරාජය වූයේය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා  නිදහස් පක්ෂය තුළින් වසර 10 තුළ දෙවරක් විධායක ජනාධිපති ධුරයේ කටයුතු කරන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට සහ මහින්ද රාජපක්ෂට ලැබුණු අවස්ථාව අනුව  වසර විස්සක්ම මෙරට ජනාධිපති  ධුර දරන්නට ශ්‍රී ල.නි.ප.ය සමත් විය. මෛත්‍රීපාල සිරිසේන ලබන මස ගෙදර යන්නේ ඒ අවස්ථාව  අහිමි කරගෙනය.

මෙරට ජනාධිපති ධුර කාලය කාලය වසර  පහක් වු නමුදු 2015 දී මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ පසු සිය කැමැත්තෙන්ම එම ධුර කාලය වසර හතරකට සීමා ක‍රමින් මේ රටේ විධායක බලය වසරකින් දන් දුන් ප්‍රථම ජනාධිපති ලෙස තමා හදුන්වාගත් නමුත් වසරක් ගතවෙත්ම ඔහුට යලි බලයේ සිටිමේ තණ්හාව මෝදු වූයෙන් දෙවැනි වරටත්  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට විවිධ උපක්‍රම යෙදුවේය.

මෛත්‍රිපාල සිරිසේනෙ ගේ එම සිහිනය බිද වැටුනේ මහින්ද රාජපක්ෂ  ප්‍රම්‍රඛ පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිට  ශ්‍රිලනිපයේද කොටසක් සමග ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවිමෙන් පසුවය. එම පෙරමුණ පසුගිය ප්‍රදේශිය සභා ඡන්දයෙන් නොසිතු විරූ ජයක් අත් කරගැනීමත් සමග එම පක්ෂයෙන් වෙනම ජනාධිපති  අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට සැලැසුම් කෙරුණේය.

2019 දී භෝඨාභය රාජපක්ෂ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙරුණේ එම සැලැසුම අනුවය.

2015දී පොදු අපේක්ෂකයා ලෙස එජාපයේ සහ  අනෙකුත් සිවිල් සංවිධානවල ශක්තියෙන් සහ පූර්ණ සහයෝගයෙන් බලයට පැමිනි මෛත්‍රිපාල සිරිසේන 2018 දී    නීති විරොධි ලෙස අගමැති  රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකොට මහින්ද රාජපක්ෂ  අගමැති ලෙස නම් කොට උසාවිය හමුවේ පරාජය වී නැවතත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්කරන්නට සිදු විය. එම අපකීර්තිමත් සිදු වීමත් සමග ඔහු කෙරෙහි තැබූ ජනතා විශ්වාසය මෙන්ම ප්‍රසාදයද පහ විය.

යථොක්ත අපකීර්කිමත් ක්‍රියාවන් කොට මහජන අප්‍රසාදය මැද   ලබන මස ගෙදර යන මෛත්‍රීපාල සිරිසේන  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රජයක් යටතේ  ඇමැති ධුරයක්  අපේකෂාවෙන් පසුවන බවද  අසන්නට ලැබෙයි.

-දිනේෂ් වික්‍රමරත්න

 

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *