Breaking News
Home / Manoland / පැලෝපීය නාල කතාවස්තුව

පැලෝපීය නාල කතාවස්තුව

සුසිලක්කා මිදු‍ලෙ මල් පැළ වලට වතුර දමමින් ඉන්න වෙලාවේ ශාන්තිනී හතිදාගෙන සුසිලක්කාගෙ ගේට්ටුවත් තල්ලු කරගෙන වත්තට පැන සුසිල්ක්කා ඉන්න තැනට කඩිනමින් ආවාය.‍

‘මොකෝ බං උදේ පාන්දර හතිදාගෙන දුවගෙන ආවේ? පිස්සු බල්ලෙක්වත් පැන්නුවද?’

‘නෑ… නෑ… බං අර සාෆි… සාෆි….’

‘ආ… සාපිං ගොයියා දැක්කෙ නෑ ගොඩක් දවසකින්. මමත් මේ ඒනකල් ඉන්නෙ පොල් ගස් දෙකතුනක ගෙඩි කඩව ගන්න.’

සුසිලක්කා ඒහෙම කිව්වම, ශාන්තිනී කතාව තේරුම් ඇතිව නිවීහැනහිල්ලේ කියන්න ගත්තා.

‘නෑ… සුසිල්ක්කේ සාපිං නෙමේ. අර කුරුණෑගල දොස්තර මොහොමඩ් සාෆි…’

‘ඉතිං…’

‘ඉතිං මාර වැඩේ නේ වෙලා තියෙන්නේ.‍’

‘ඒ මොකක්ද බං ශාන්තිනියෝ…?’

‘සාෆි දොස්තර සීසර් කරලා බබාලා හම්බ වුණු අයට ආයේ බබාලා හම්බ වෙන්න නැති වෙන්න වඳ කරලා කියලා උද්ඝෝෂණයක් තිබුණනේ.’

‘ඉතිං?’

‘එහෙම බබලා හම්බ වුනේ නැති අය ඉදිරිපත් වුණොත් වන්දියක් අරන් දෙනවා කියලා අපේ පැලෝපියේ රතන හාමුදුරුවො කියපු හින්දා  අපේ, කුරුණෑගල ඉන්න නෑනලා දෙන්නෙකුයි, යාළුවෙකුයි ගියා සාෆිට විරුද්ධව උද්ඝෝෂණ කරන්න.’

‘ඔව්… ඔව්… මමත් දැක්කා ටී.වී. ඒකේ ඒහෙම ඒ දවස්වල බොහොම ජයට උද්ඝෝෂණ කරනවා, පෙළපාලි යනවා, සටන්පාඨ කියනවා. ඉතිං ඒකට මක් වෙනවද අසාධාරණයක් වුණා නම් ඒකට විරුද්ධව සටන් කරන්න ඒපායැ ශාන්තිනියෝ.’

‘ඒකයෑ සුසිලා අක්කේ, මාර වැඩේනේ වෙලා තියෙන්නෙ. දැන් බබලා නෑ කියලා පිකටින් වලට ගිය අපේ නෑනලා දෙන්නටම ළමයි හම්බ වෙන්න ඉන්නවලු.‍’

‘ඒක මාරවැඩක් යෑ බං. සන්තෝස වෙන්න කාරණයක්නේ. තමන්ටගෙ ඒකෙකුට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියන ඒක.’

‘මට නම් සන්තෝසයි, ඒත් ඒවුන් දෙන්නට අවුල්  බං.’

‘ඒ මොකෝ අර?’

‘ඒ දෙන්නගෙ මිනිස්සු දෙන්නාට දැන් ගෑනු දෙන්නා සැකයිලු. මෙච්චර දවසක් ළමයි හම්බ වෙන්න ඉන්නැතුව ඉඳලා උද්ඝෝෂණවලට ගියාට පස්සේ දැන් කොහොමද ළමයි හම්බ වෙන්න ඉන්නේ කියලා.’

‘ඒක ඇත්තනෙ බං’

‘උනුත් පහුගිය ටිකේම උදේට කුරුණෑගල යනවා. රෑට රෑවෙලා ගෙදර ඒනවා. ඉතිං මිනිස්සු සැක කරන්නෙ නැතුවයැ.’

‘ඉතිං නෑනලා දෙන්නා මොකද කියන්නේ?’

‘නෑනලා කියන්නේ. ඒහෙම අවුලක් නෑ කියලා. මහත්තුරුන්ගෙ බඩු කියලා සුවර් කියලා. ප්‍රශ්නයක් වුණොත් ජාන පරීක්ෂණයකින් හරි ඔප්පු කරනවා කියලා.’

‘ඒහෙනම් ඉතින් අවුලක් නෑනේ.’

 ‘නෑ. ඒ අවුල නම් බේර ගන්න පුළුවන්. වන්දි බලාගෙන මුං දෙන්නයි, තවත් ගෑනු රොත්තකුයි ඒ විරෝධතාවෙට ගියානේ. මෙහෙම වුණාම වන්දි ගන්නත් බෑ. කෙරුවෙත් බොරුවක් කියලත් ඔප්පු වෙනවනේ.’

‘ඒතකොට සාෆි දොස්තර පැලෝපීය නාලේ මිරිකලා නැද්ද?’

‘මිරිකලා නැද්ද? හරියට මිරිකිලා නැද්ද කියලා මම දන්නෑ සුසිලො. දැන් පෙළපාලි ගිය ගොඩක් දෙනෙකුට කොහොමෙන් කොහොමෙන් හරි බබාලා හම්බ වෙන්න ඉන්නවලු.’

‘ඒතකොට නෑනලා දෙන්නත් ඒක්ක යාළුවෙකුත් ගියා කියලා කිව්වා නේද? එයාට මොකද වුණේ?’

‘ඔය ප්‍රශ්නෙට ආණ්ඩුවෙන් පරීක්ෂණ කණ්ඩායමක් පත්කෙරුවනෙ. ඒ කණ්ඩායම යාළුවගෙන් ප්‍රශ්න අහලා. ඒ පරීක්ෂනේ සිද්ධවෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.’

පරීක්ෂකණ කණ්ඩායම – තමාට ළමයි කිදෙනෙක් ඉන්නවද?‍‍

පැමිණිලිකාරිය – ඒක්කෙනයි.

ප.ක. – ඒයා කොහෙදිද හමුබ වුණේ?

පැ.කා. – කුරුණෑගල  රෝහලේ දී.

ප.ක. – සාමාන්‍ය දරු උපතක්ද සිසේරියන් දරු උපතක්ද?

පැ.කා. – සිසේරියන් දරු උපතක්.

ප.ක. – කවුද සිසේරියන් කරපු වෛද්‍යවරයා?‍

පැ.කා. – මොහොමඩ් සාෆි.‍

(පරීක්ෂක කණ්ඩායමේ පිරිස පොටක් පෑදුණු බව සිතා, ඒකිනෙකාගේ මුහුණු බලමින් සිනාසෙති)

ප.ක. – ළමයාට දැන් අවුරුදු කීයද?

පැ.කා. – අවුරුදු දහයයි.

ප.ක. – ළමයාට අවුරුදු දහයක් වෙනකල් ළමයෙක් නෑ! ඔකනේ අපේ පැලෝපියෙ හාමුදුරුවො කියන්නේ බොරු නෙමෙයි නේ.

ප.ක. – මනුස්සයා මොකක්ද කරන රස්සාව.

පැ.කා. – මේසෙන් වැඩ.

ප.ක. – මේසෙන් වැඩ කියලා කිව්වේ. පුටුවේ ඉඳගෙන ලිපිකරු වගේ මෙසේ උඩ තියාගෙන කරන ලිපිකරු වගේ රස්සාවක් ද?

පැ.කා. – නෑ. ඒයා මේසෙන් හැදෙන් මේසෙන් වැඩ කරනවා. ගෙවල් හදනවා, තාප්ප බඳිනවා.

ප.ක. – ඇහුවට මොකුත් හිතන්න එපා. එයා හැමදාම ගෙදර එනවද? අඩුමගානේ රෑටවත්.

පැ.කා. – ඒයා ජීවතුන් අතර නෑ. මැරිලා අවුරුදු 9ක් වෙනවා. පොඩි ඒකාට අවුරුද්දෙදි මැරුණෙ.

ප.ක. – ඒහෙනම් කොහොමද යෝදියේ තමුන්ට ළමයි හම්බ වෙන්නේ?

පැ.කා. – මනුස්සයා මරුණට මම මැරිලා නෑනේ මහත්තයා.

ප.ක. – තමුන් මොකටද මෙහාට ආවේ. ළමයෙක් හදාගන්නද?

පැ.කා. – අපොයි නෑ මහත්තයො, අනිත් අය වගේම මමත් ආවේ වන්දියක් දෙනව කිව්ව හන්ද ඒක ගන්නයි.

(පරීක්ෂක කණ්ඩායමේ මුහුණු අඤ්ඤකොරොස් විය)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *