Home / Arts / එකම අරමුණක් වෙනුවෙන් පමණක්ම ජීවත්වූ සද්ධිවිහාරිකයා

එකම අරමුණක් වෙනුවෙන් පමණක්ම ජීවත්වූ සද්ධිවිහාරිකයා

ජීවිතයේ එකම අරමුණක් වෙනුවෙන්ම පමණක් ජීවත්වූ මිනිසකු මේ මිහිපිට සිටියේ නම් ඒ වින්සන්ට් වැන්ගෝ පමණක්ම යයි සිතමි.

මට එසේ සිතුණේ සුභා රණවීර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ‘නිර්මාණයේ මහා  ශෝකය -වින්සන්ට් වැන්ගෝ‘ නම්වූ  ලෝක ප්‍රකට චිත්‍රශිල්පී වැන්ගෝ ගේ චරිතාපදාන නවකතාව කියවා නිම කිරීමෙන් පසුවය.

යුරෝපයේ විශාලතම චිත්‍රාගාර සහ චිත්‍ර ආයතන කිහිපයකම හිමිකරුවන්වූ වැන්ගෝ   පරපුරේ  අය අතර චිත්‍රශිල්පීහුද වූහ.  ඒ අතරින් වැන්ගෝ  ගේ වැඩිමහල් සොයුරාද විය.

වින්සන්ට් තරුණවියේ සිටම චිත්‍රශිල්පියකු වීමේ පිපාසයෙන් පෙලෙන්නකු වූ අතර  එය සංසිදුවා ගැනීම සදහා ඔහු දැරූ ප්‍රයත්නයන් හෙලා දකින්නට වූ  වැන්ගො පරපුරේ ඇත්තන් සහ ඔවුන්ගෙ සමකාලීනයන්   නිරතුරුවම අවඥාවට, සරදමට සහ නින්දාවට පත් කිරීම් දරා ගනිමින් තම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අතිමහත්  දුෂ්කරක්‍රියාවක නිරත වූයේය.

සියල්ලන්ම වින්සන්ට් හැර දමද්දී ඔහුට උපකාර කළේ ඔහුගේ බාල සොයුරු ‘තියෝ‘ පමණකි. ඔහු මසකට ප්‍රෑන්ක්100ක් වින්සන්ට්ට එවූ අතර  වින්සන්ට් මාසය අවසන් වන්නටත් පෙර එම මුදල වැය කළේ තම චිත්‍ර සඳහා පෙනී සිටි නිරූපිකාවන්ටය. ඒ නිසා මාසයේ ඉතිරි දවස් පාන් කෑල්ලක්, කළු කෝපි උගුරක් නැතිව ඔහු නිරාහාරව සිටි නමුත් පින්සල අත්හැරියේ නැත. 

හිරු කිරණින් ප්‍රභාමත් වූ ස්වභාව ධර්මයේ අපූරු දායාදයන්ගේ වර්ණ   සහ හැඩතල වලින් වශි කෘත වූ හෙතෙම ස්වභාව ධර්මයේ  ජීවය, සාරය සිය කැන්වසය තුළින් මතුකර ගැනීමට නිරතුරු වෙර දැරුවේය. මහපොළොව  සමග පොර බදිමින් ස්වභාව ධර්මය සමග අරගල කරමින් සිටි ගොවීන්ගේ ශ්‍රමය.   මෙන්ම ඔවුන්ගේ ආත්මීය සන්වේදනයන්ද  කැන්වසය තුළින් මතුකරගැනීම සදහා දවස පුරාම  වෙල් යායවල් මැද   සැඩ හිරු රැසින් පීඩා වින්දේය. එහෙත් ඒ පීඩාවන් ඔහුට පීඩාවක් නොවූයේ ඔහු තම අරමුණ ජය ගැනීම වෙනුවෙන්ම සියල්ල කැප කොට සිටි බැවිනි. වැන්ගෝ ගේ චරිතාපදාන නවකතාවේ ඒ අරමුණ කෙබදු දැයි  මෙසේ විස්තර කරයි

‘ඔහු  උදෑසන 4 ට පටන්ගෙන රෑ බෝවෙන තෙක්ම  එක දිගටම වැඩ කළේය.  ඔහු සම්පූර්ණ චිත්‍ර 2ක් 3ක් දිනපතා නිම  කළේය. ඔහුට වැදගත් වූයේ තමාට මේ දෙරණ තුළ කෙතරම් වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්නයි. ඔහු කාලය මැන්නේ කැලැන්ඩරයේ පිටුවලින් නොව ඔහු නිම කළ කැන්වස් ප්‍රමාණයෙනි.‘

‘ඔහු දැන සිටි එකම දෙය ඔහුට හැගුණු එකම දෙය චිත්‍ර. තව චිත්‍ර. තව තවත් චිත්‍ර නොකඩවා ඇදිය යුතු බවයි.‘

සිය එකම අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසාම ජීවත්වූ  වැන්ගෝ ඒ නිසාම  සමාජයෙන් පරාරෝපිත වූ  පිටස්තරයෙක් විය.

ප්‍රේමය හමුවේ අතිශය රොමාන්තිකයකු වූ වැන්ගෝ සම්මතයන් මෙන්ම සීමාවන්ද නොඉවසුවේය. ඒ නිසාම  ප්‍රේමය හමුවේ නොරිස්සුම් සහගත  දඩබ්බරයකු වුයේය.

ඔහු පළමුව ප්‍රේමයෙන් බැදුනේ  අන් තරුණයකු සමග විවාහ ගිවිසගෙන සිටි 19 හැවිරිදි තරුණියකටය.ඒ වනවිට වින්සන්ට් 21 හැවිරිදි ගැටයෙකි.  උර්සුලා නම් වූ ඇය තමන් විවාහ ගිවිසගෙන සිටින බව කියා ඔහුගේ  ප්‍රේමය ප්‍රතික්ෂේප කරදිදීත් වින්සන්ට් පසු නොබෑවේය. ඇගේ පිටු දැකීම නොතකා ඈ පසු පස ලුහු බැන්දේය.

දෙවනුව ඔහු ප්‍රේමයෙන් මුසපත් වූයේ ඔහුගේම ඥාති  සොයුරියකවූ ‘කේ‘ ටය.ඒ වන විට වැන්දඹුවක සිටි ඇය වින්සන්ට් ගේ චිත්‍රවලට  ඇලුම් කළ නිසා ඔහු කල්පනා කළේ ඇය සිය බිරිද කරගැනීම කෙරෙහිය.  ඇයද ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු එය නොතකා උමතුවෙන් මෙන් ඇය පසුපසම ලුහු බැන්දේය.  ඒ නිසාම ඇයට තම මවුපියන් වෙත යන්නට සිදු වූ අතර ඔහු ඇය සොයා  ඇගේ මවුපියන්ගේ නිවසට අනවසරයෙන් හා බලහත්කාරයෙන්ම ඇතුළු වී පූජකවරයකු වූ   ‘කේ‘ ගේ පියාට අභියෝග කරමින් කියා සිටියේ  තමන්ට ඇය විවාහ කරගන්නට  අවශ්‍ය බවය. ඇගේ  පියා  එය තරයේ ප්‍රතික්ෂේප කරද්දී වින්සන්ට් ඊට විරෝධය පෑවේ  දැල්වෙමින් තිබූ ඉටිපන්දමකට අත අල්ලාගෙන එය ගිනි පෙලෙල්ලක් මෙන් රතු  වෙනතුරු පුළුස්සා ගනිමිනි.

වින්සන්ට්  තෙවෙනුව පෙම් බැන්දේ අවන්හලක වයින් බොමින් සිටි ක්‍රිස්ටිනා නමැති විදියේ සරණ ලියකටය. දරුවන් දෙදෙනකුගේ මවක වූ ක්‍රිස්ටිනා ගේ තරාතිරම නොබලා ඇය තම නිවසට කැදවාගෙන ගියේ නිරූපිකාවක ලෙසිනි.  ඉන්පසු මල්ලී එවූ ප්‍රෑන්ක් සියයෙන් වැඩිහරියක්ම  ඔහු වැය කළේ  ක්‍රිස්ටිනාගේ නිරූපණය වෙනුවෙන් සහ ඇගේ දුක සැප වෙනුවෙනි.

පසුව ක්‍රිස්ටිනා  කෙරෙහි අනුකම්පා මුසු ප්‍රෙමයකින් බැදුණු හෙතෙම  දරුවන් සමගම ඇයට වෙසෙන්නට  අලුත් නිවසක්ද කුලියට ගත්තේ ඇය විවාහ කරගන්නා අදහසිනි. ඒ නිසා තම ඥාතීන්ගෙන් සහ  හිතමිතුරන්ගෙන් ඔහු වෙත එල්ල වූ නින්දා අපහාස කිසිවක් ඔහු තුට්ටුවකටවත් මායිම් නොකළේය. එහෙත් අවසානයේ  ක්‍රිස්ටිනාද ඔහු හැර ගියාය.

සිවුවැනිව වින්සන්ට් ප්‍රේමයෙන් බැදුනේ නොසිතු විරූ ලෙස ඔහුගේ චිත්‍රවල  අගය වටහාගත්  අහම්බෙන් මුන ගැසුණු මාගොට් නමැති 37 හැවිරිදි අවිවාහක ගැහැනියකි.  ඇයගේ ප්‍රෙමය ඉදිරියේ ඔහු පළමු වරට සැනසුනේය. ඇය විවාහ කරගන්නට අපේක්ෂා කළද එම අපේක්ෂාවද බිද වැටුනේ ඇයගේ සොයුරියන් වින්සන්ට් රස්සාවක් නොකරන, ගැහැනියක නඩත්තු කළ නොහැකි, නිකමෙකු, රස්තියාදුකාරයෙකු ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළ බැවිනි.

වරක් ඔහු දිවි නසාගන්නට තරම් චිත්තාවේගයකින් පෙළුණේය.  ඔහු රේසරය අතට ගෙන දකුණු කන සියතින්ම කපා දැමුවේය. අනතුරුව එය බේසමක දමා සොදා පාර්සල් කර නූලකින්ද ගැට ගසා  හුරතලයට මෙන්  නිතර නිතර ඔහුගේ කන ඉල්ලා සිටි තරුණ අභිසරුලියකට සිහිවටනයක් ලෙස තෑගි කළේය.

එසේ ප්‍රේමය හමුවේ අසීමිත ලෙස පරාජය වුවද   ඔහු සිය කලාව අත් නොහැරියේය. ඒ වෙනුවෙන්ම සිතද කයද නොනවත්වාම වෙහෙසවූයේය. චිත්‍රකලාව වෙනුවෙන් අව්වෙන්,පින්නෙන්, වැස්සෙන්.සුළගින් විදි පීඩාවන්ද, කුසගින්නෙන් විදි පීඩාවන්ද.ප්‍රෙමය පරාජය විමෙන්,නොතකා හැරීම්වලන්. නින්දා අපහාසවලින් විදි පීඩාවන්ද මැද ඔහු මීමැස්මොර රෝගියකුවී  පසුව එය උත්සන්න  වීමෙන් උන්මන්තකාගාරයටද යැවිණි.

සැබැවින්ම වින්සන්ට් වැන්ගෝ ගේ කැඩුණු, වේගවත් පින්සල්  පහරවලින් එළියට එන්නේ ඔහු තම ඇතුළතින්ම   දරා සිටි  අප්‍රමාණ විදවීම් කන්දරාවයි. සිතුවම් ලෙස එලියට ආවේ අනන්ත අප්‍රමාණව දුක්ඛ දෝමනස්ස වලින් ගහන   සිය අත්දැකීම් සම්භාරයේ සවිඥාණික ආත්ම ප්‍රකාශයයි.

එසේ පුරා දස වසරක් පුළුල්ලේ වින්සන්ට කළ දුෂ්කර ක්‍රියාවෙන් පෞද්ගලිකව ඔහු අත්කර ගත් කිසිවක් නැත. සිය ජීවිත කාලය තුළම කිසිදු චිත්‍රයක්  විකුණාගත නොහැකිවූ මේ  මහා නිර්මාණවේදියා තම ශ්‍රමයේ,කැපවීමේ, ප්‍රතිභාවේ ශක්තිය අනාගත චිත්‍රකලාව වෙනුවෙන් මුදාහැර සියතින්ම හිසට වෙඩි තබාගෙන මිය ගියේය.

‘නිර්මාණයේ මහා ශොකය-වින්සන්ට් වැන්ගෝ‘ නම වූ මේ චරිතාපදාන නවකතාව තුළින් අපට හමුවන  වින්සන්ට් වැන්ගො ගේ, ඔහුගේ  සමකාලීනයන් වූ ජොර්ජ් පියුරා,  රූසෝ, පොල් සෙසාන්,පොල් ගොගෑන්,වැනි ලොක ප්‍රකට  චිත්‍ර ශිල්පීන්ද, පූජකවරුන්. ප්‍රභුවරුන්, වෛද්‍යවරුන්, වෙළෙන්දන්, මෙන්ම ගැහැනුන් මිනිසුන් අබිසරුලියන් වැනි වවිධ චරිතවල එන අපූර්ව චර්යාවන්ද මෙන්ම ඔවුන්ගේ  ජීවිත වෙලාගත් සංකීර්ණ සෙන්ම අති සංවේදී සිදුවීම් මාලාව ඔස්සේ අපගේ ජීවන ධාරිතාව පුළුල් පරාසයක් කරා යොමුකරවයි.

එසේම මේ කෘතිය සිංහලය බසට නැංවූ සුභා රණවීරගේ රමණිය භාෂා  ශෛලිය සහ  බස හසුරුවාගත් ආකාරය තුළ මේ දීර්ඝන නවකතාව එක දිගට නොනවත්වාම කියවන්නට අපට  අනුබල දෙයි

-ගුණසිරි සිල්වා

Check Also

තරුණ ශිල්පීන් සය දෙනකුගේ චිත්‍ර දැක්මක් බොරැල්ලේ

තරුණ චිත්‍රශිල්පීන් සහ ශිල්පිණියන් 6 දෙනකුගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර දැක්මක් අගෝස්තු 24 දින සිට සැපතැම්බර්   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *