Breaking News
Home / Arts / අභිරූපණයේ පළමු ගුරුවරයා

අභිරූපණයේ පළමු ගුරුවරයා

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව,සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය.

විමල් ඒ හාස්කම කළේ ඔහු විසින් ස්වඋත්සාහයෙන් ප‍්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල වේදිකාවට හඳුන්වාදුන් අභිරූපණ රංගනයෙනි. හාවෙකු මෙන්, තනිකරම සුදු අත් දිග ටීෂර්ට් එකකින් සහ ජීන්ස් එකකින් සැරසී මුහුණ පුරා සුදු තවරා ලිප්ටික්ස්්වලින් දෙතොල් ද ආලේප කොට වේදිකාවේ ආලෝක කවයක් යට සිට ඔහු විවිධ සිදුවීම් සාත්වික සහ ආංගික අභිනයෙන් පේ‍්‍රක්ෂකයා හමුවේ මැව්වේය.

ඒ අභිනයෙන් ඔහු බයිසිකල් පැද්දේය. සරුංගල් උඩ ඇරියේය. බස් නැවතුම්පොළක සිට බසයක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට අනතුරුව එන බසයකට අත දමා ඊට ගොඩවී සෙනඟ අතර සිර වී  මගියා විඳින අපමණ ගැහැට මවා පෑවේය.  එහෙත් වේදිකාවේ බයිසිකලයක් නොවීය. සරුංගලයක් ද නොවීය. බස් නැවතුම්පොළක් ද බස් රථයක් ද බස් රථයේ මගීන් ද නොවීය. ඒ සියල්ල විමල් මැව්වේ ස්වකීය ආංගික හා සාත්වික අභිනයෙන් පමණි.

එදා අපට ආගන්තුක වූ විමල්ගේ ඒ අලූත් රංගනය ඇතුළත තිබූ සදය උපහාසය විඳින්නට හා තේරුම් ගන්නට හැකි පේ‍්‍රක්ෂකාගාරයක් එදා තිබුණේය.

විමල් මේ අභිරූපණ රංගනය ගෙන ආවේ කොහෙන්ද? එවැන්නකට පූර්වාදර්ශ එතෙක් මේ රටේ නොතිබුණේය. පසුකලෙක ආචාර්ය සාලමන් ෆොන්සේකා, බන්දුල විතානගේ, ජයන්ත රණවක වැනි නාට්‍යකරුවන් ජර්මනිය, එංගලන්තය වැනි රටවලින් අභිරූපණ රංගනය හදාරා තිබුණ ද විමල්ට එදා එබඳු හැදෑරීමකට විදේශයකට යන්ට ඉඩකඩක් හෝ පසුබිමක් තිබුණේ නැත.

විමල්ගේ මේ අපූර්ව රංගනයේ පසුබිම පිළිබඳ සොයා බැලීමේ දී සිනමාවේදී ධර්මසේන පතිරාජ පැවැසුවේ ඇතැම් විට ඔහු චාලි චැප්ලින් වැනි නළුවකුගේ හෝ වෙනත් බටහිර චිත‍්‍රපටයක ආ චරිත අනුකරණයෙන් එකී රංගනය ස්වඋත්සාහයෙන් නිපදවා ගත්තා මිස ඔහුට ගුරුවරයකු නොසිටි බවයි. පසු කලෙක විමල්ගේ මේ හැකියාවන් දුටු ඔහුගේ සමීපතමයන් ප‍්‍රංශයේ අභිරූපණ ශිල්පියකු වූ මාෂලෝ මාෂෝ ලංකාවට ආ විටෙක විමල් ඔහුට මුණ ගැස්සූ බවත් අනතුරුව විමල් ඔහුගේ රංග විලාසිතා ස්වකීය රංගනය සඳහා ආභාෂයට ගත් බවත් පතිරාජ පැවසීය. ඉන් අනතුරුව ආචාර්ය ගාමිණී හත්තොටුවේගම සහ බන්දුල විතානගේ විමල්ගේ අභිරූපණ රංගනය දියුණු කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දුන් බව ද පතිරාජ පැවැසීය.

ඇත්ත වශයෙන්ම විමල් කුමාර ද කොස්තා  රංගන ශිල්පියකු ලෙස හාපුරා කියා ස්වකීය කුසලතා ප‍්‍රකට කරන්නේ වේදිකාවෙනි. ඒ 60 දශකයේ අග භාගයේ දී පමණ ඒ.ජේ.සෙල්වදොරේ අධ්‍යක්ෂණය කළ ‘ගොඩෝ එනකං’ නාට්‍යයෙනි. ප‍්‍රකට අභූත රූපී නාට්‍යකරුවකු වූ සැමුවෙල් බ්‍රෙකට්ගේ Watin for Godot නාට්‍යයේ  සිංහල පරිවර්තනයක් වූ ‘ගොඩෝ එනකං’ අපේ රටේ වේදිකා ගත වූ මුල්ම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

‘ගොඩෝ එනකං’ නාට්‍යයේ දැක්වෙන්නේ ගොඩෝ නමැත්තකු එන තෙක් බලා සිටින දෙදෙනකු ගැනය. කවදා හෝ ගොඩෝ එතැයි ඔහු අපේක්ෂාවෙන් සිටිති. ඔහු පැමිණි විට තමන්ට විමුක්ති ලැබෙතැයි ඔවුහු විශ්වාස කරති. මුළු නාට්‍යය පුරාම ඔවුන් හැසිරෙන්නේ ගොඩෝගේ පැමිණීම පිළිබඳ අපේක්ෂා දල්වාගෙනය. එහෙත් ගොඩෝ එන්නේ නැත. ගොඩෝ යනු කවරෙක් දැයි පැහැදිලි නැත. ‘ගොඩෝ’ යනු ‘ගෝඞ්’ යන අර්ථයෙන් සැමුවෙල් බෙකට් අදහස් කළේ දෙවියන් වහන්සේ පිළිබඳ සංකේතයක් විය හැකි යැයි විචාරකයන්ගේ මතය විය.

හදවතට නොව කෙළින් බුද්ධියට අමතන අතිශ්‍ය සංකීර්ණ මනෝභාවයන් ප‍්‍රකට කරන ඒ දෙදෙනාගේ භූමිකාවන්ගෙන් එක් භූමිකාවක් හිමි වූයේ විමල්ටය. අනෙක හිමි වූයේ සරච්චන්ද්‍ර සමරක්කොඩිටය. එම සංකීර්ණ රංගනයේ දී ද විමල් තම අභිරූපණයන් විටින් විට යොදා ගත්තේය.

ඉන් අනතුරුව ඉයුජින් අයනෙස්කෝගේ Chairs ඇසුරින් ධර්මසේන පතිරාජ නිෂ්පාදනය කළ ‘පුටු’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට ද විමල් එක් වෙයි.

එම නාට්‍යයේ දැක්වෙන්නේ මහළු යුවළක් තම උපන්දින සාදයට ආරාධනා කළ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකි. මහළු යුවළ සාදයට පැමිණෙන අමුත්තන්  දොර ළඟට ගොස් පිළිගනිති. ගෙදරට ඇතුළු වන අමුත්තන්ට වාඩි වෙන්නට පුටු ගෙනවිත් තබති. ඔවුන් සමඟ කෙටි පිළිසඳරක යෙදෙති. එහෙත් ඒ සියල්ල මහළු යුවළගේ මනෝ ග‍්‍රහන්තින් පමණි. කිසිවකු එන්නේ නැත. අවසානයේ දී සාදයට පැමිණෙන එකම අමුත්තාට ද කතා කරන්නට බැරිය. ඔහු ගොළුවෙකි. (දයා තෙන්නකෝන්) අමුත්තන් පිළිගැනීම ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදීම ඔවුන්ට අතට අත දීම ආදී සියල්ල සිදු කෙරුණේ අභිරූපණයෙනි.  ඒ අභිරූපණයෙන් අපූරු රංගනය ඉදිරිපත් කළේ විමල් කුමාර ද කොස්තා සහ මාලනී වීරමුණිය.

සිනමාවේදී විමල්ට චරිතාංග නළුවකු ලෙස මතුවන්නට ඉඩකඩ පෑදෙන්නේ ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’ ඇතුළු අතළොස්සක් චිත‍්‍රපට තුළින් පමණකි. ‘අහස් ගව්වේ’ ගුණේ නැමැති විරැකියාවෙන් අසහනයට පත් රස්තියාදුකාර තරුණයාට ජීව වායුව පිඹින්නට විමල්ට හැකි වූයෙන් එදා තරුණයෝ ඔහුගේ රංගනය ඉදිරියේ ස්වකීය ජීවිතය අත්දුටුහ.

 

සිනමා රංගනයේ දී ද විමල් ස්වකීය අභිරූපණය එක් කර ගත් අවස්ථා දැකිය හැකිය. ‘අහස් ගව්ව’ චිත‍්‍රපටයේ තරුණයන්ගේ විනෝද සවාරියේ එක් අවස්ථාවක දී විමල්ගේ එබඳු අභිරූපණයක් දකින්නට ලැබේ. කැළේ සිට එන මහා රාක්ෂයකු කුස ගින්නට කුමාරිකාවක් ඩැහැගෙන යළි කැළයට ගිය අයුරු විමල් මනහර ලෙස ස්වකීය අභිරූපණයට නැඟුවේය.

‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයේ වීරසේන ලෙස විමල් කළ රංගනය තාත්විකත්වය ඉක්මවා ගිය අධි රංගනයකි. බඹරු ඇවිත් චිත‍්‍රපටයේ දේශපාලන දෘෂ්ටිය හකුලවා කියන්නට පතිරාජ යොදා ගත්තේ වීරසේනගේ චරිතයයි. සුළු ධනේශ්වර දේශපාලනඥයකු ධීවර ගම්මානයක් තුළ සිදු වූ කලබැගෑණිය

දුටු ආකාරය චිත‍්‍රපටය අවසානයේ දී විමල්ගේ රංගනයෙන් ඉදිරිපත් කළ ආකාරය තුළ පතිරාජ මතු කළේ උපහාසයකි. ඒ උපහාසය කදිමට පැහැදිලි වූයේ වීරසේන ලෙස විමල් කළ රංගනයෙනි.

විමල් කුමාර ද කොස්තාගේ විශිෂ්ට ප‍්‍රතිභාව එළියට දාන්නට හැකි නාට්‍ය කලාවක්, මහාචාර්ය සරච්චන්ද්‍ර

සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන ඇතුළු මේ රටේ පුරෝගාමී නාට්‍යකරුවන්ගේ මැදිහත්වීමෙන් 60 – 70 දශක තුළ මේ රටේ ගොඩනැගුණේය. විමල් ඇතුළු රංගන ශිල්පීන්ගේ කුසලතාවන් ඔසවා තැබූ ඒ නාට්‍ය කලාව 80 දශකයේ අවසාන භාගයෙන් පසු කෙමෙන් ගිලිහීමට ලක්ව මේ වන විට එය තනිකරම විකටයන්ගේ රාජධානියක් බවට පත්වූ තැන විමල්ලාට ඉඩක් තිබුණේ නැත. එහෙයින් වෘත්තීය නළුවකු වශයෙන් ඔහුට සිදු වන්නේ එදා වේල පිරිමසා ගන්නා ටෙලි නාට්‍ය  වැනි විසූක දස්සනවල රඟපාන්නටය. විමල් කුමාර ද කොස්තා නමැති විශිෂ්ට රංගන ශිල්පියා ගිල ගත්තේ ඒ විසූක දස්සන තුළිනි. අවසානයේ දී  ඕනෑම දහජරාවක රඟපා සිය ගතමනාව සොයා ගන්නටත් තමන්ට හිමි තැන අහිමි වුණු අකෘතඥ සමාජයක පරාරෝපිතයකු බවට පත් වන්නටත් සිදු වූ මානසික පීඩාව විමල් දිය කර හැරියේ මධ්‍යසාරවලිනි. එය මේ රටේ බොහෝ කලාකාරයන්ට අත් වූ ඉරණමකි. ඒ ඉරණම වෙනස් කරන්නට හැකි සමාජයක් හදන සිහිනය ද දැන් බොඳවී බොහෝ කල්ය.

එහෙයින් විමල් වැනි දක්ෂයන් හැමදාමත් මේ රටට අහිමි වූයේ හැකියාවන්ගෙන් නිසි ඵල නොගෙනය. ඔවුන් මියගියාට පසු හිස් වන තැන ගන්නට කිසිවකු ඉතිරි නොවන්නේ ද එමබඳු දක්ෂතා අනාගත කලාව වෙනුවෙන් රැක ගන්නට මේ රටේ නිසි වැඩපිළිවෙළක් නොමැති බැවිනි.

-GUNSIRI SILVA

 

 

Check Also

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *